මෙරට ප්‍රථම ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම්

ඖෂධ ආනයනය මත පවතින යැපීම අවම කර දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම ඉදිරි දශකයේදී රජයේ ප්‍රමුඛ අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  (17) දින ගාල්ල, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි Premium International Injectable (Pvt) Ltd ආයතනයේ ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

රුපියල් බිලියන 3කට අධික ආයෝජනයකින් ඉදිකර ඇති මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු වලංගුකරණ (Validation) ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව, 2027 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඉන්සියුලින් නිෂ්පාදනයට අමතරව නිර්වින්දන ඖෂධ සහ වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීමට ද ආයතනය සැලසුම් කර තිබේ. ඉදිරියේදී ඖෂධ වර්ග 33ක් දක්වා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම එහි අරමුණයි.

මෙරට රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධවලින් සියයට 85–90ක පමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවන අතර, මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ මඟින් සපුරාලනු ලබන්නේ සියයට 10–15ක පමණ අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ සැපයුමට ඇති වූ බාධා සැලකිල්ලට ගනිමින්, පසුගිය වසර දෙක තුළ රෝහල් පද්ධතියට අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

දැනට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සමාගම් හතරකින් ආනයනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන අතර, වසර 15ක ඖෂධ සැපයුම් ගිවිසුමක් ද සංස්ථාව සමඟ ඇති කරගෙන තිබේ. දේශීය අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළ වෙත යොමු කිරීමට ද ආයතනය අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට ආයතනයේ සාමාන්‍යාධිකාරී අසීම් කම්තාම්, කළමනාකාර අධ්‍යක්ෂ තුෂිර රැදැල්ල, මූල්‍ය කළමනාකාර රවීන් පීරිස්, මානව සම්පත් කළමනාකාර  නුවන් ගමගේ, මහජන සම්බන්ධතා නිලධාරී ජී.ඩී.පී. ගුණරත්න යන මහත්වරුන් මෙන්ම ආයතනයේ නිලධාරීන්  ඇතුලු  පිරිසක් එක්ව සිටියහ.

Leave A Comment