හේලියන් ශ්‍රී ලංකා සමාගම සිය 70 වැනි සංවත්සරය සනිටුහන් කරයි

ගෝලීය පාරිභෝගික සෞඛ්‍ය සන්නාම නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන හේලියන් ශ්‍රී ලංකා (Haleon Sri Lanka) සමාගම, මෙරට සිය සුවිශේෂී 70 වැනි සංවත්සරය සහ නිෂ්පාදන සන්නාමයන් හි 70 වැනි වසර සනිටුහන් කරමින් සංවිධානය කළ විශේෂ සැමරුම් වැඩසටහනක් (26) දින රත්මලාන/ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි Haleon ප්‍රධාන ඖෂධ නිෂ්පාදන ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහභාගි වූ අතර, එහිදී හේලියන් සමාගමේ රත්මලාන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ද නියෝජ්‍ය අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

සංවත්සර සැමරුම් අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ, වසර 70ක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය සහ ඖෂධ අවශ්‍යතා සපුරාලීමට සහ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනයට හේලියන් සමාගම දක්වන දායකත්වය අතිශයින් අගය කළ යුත්තක් බවයි.

විශේෂයෙන්ම පැනඩෝල් වැනි සන්නාමයන් දශක හතක් පුරා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනගාගෙන ඇති නොබිඳුණු විශ්වාසය පිළිබඳවද ඒ මහතා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

මෙරට ඖෂධ නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් පවතින බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නිෂ්පාදන පිරිවැය අඩු කරගනිමින් අප්‍රිකානු කලාපය වැනි නැඟී එන ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට දේශීය නිෂ්පාදකයන්ට විශාල අවස්ථාවක් පවතින බවද සඳහන් කළේය.

හේලියන් ශ්‍රී ලංකා සමාගම 1956 වසරේදී මෙරට සිය ඖෂධ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ, ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත ඖෂධ නිෂ්පාදන ආයතනයකි. 1950 දශකයේ මැද භාගයේදී ප්‍රථම වරට වෙළඳපොළට හඳුන්වා දුන් පැනඩෝල් නිෂ්පාදනය අද වන විට ලොව පුරා පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් Paracetamol සන්නාමය බවට පත්ව තිබේ. ඊට අමතරව පෙනඩීන් (Panadeine), අයොඩෙක්ස් (Iodex), සෙන්සොඩයින් (Sensodyne), කොසොඩිල් (Corsodyl), ඉනෝ (Eno), පිරිටන් සිරප් (Piriton Syrup) සහ වෝල්ටාරන් (Voltaren) යන ප්‍රමුඛ පෙළේ සන්නාමයන් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු හේලියන් ශ්‍රී ලංකා සමාගම සිදු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා හේලියන් සමාගමේ ඉන්දීය උපමහද්වීපයේ මුදල් අංශ ප්‍රධානී නිතින් මාථුර් (Nitin Mathur), ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපීය ශාඛාවේ මූල්‍ය අධ්‍යක්ෂ පූර්ණ මුණසිංහ, සැපයුම් දාම ප්‍රධානී කුසල් පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු හේලියන් සමාගමේ කළමනාකාරීත්වය සහ ආයතන සේවක මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave A Comment