ලාල් විජේනායක !

ලාල් විජේනායක යනු හුදු නීතිඥයෙකු පමණක් නොව, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සමඟ එක්ව, සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමට එතුමා දැක්වූ අද්විතීය දායකත්වය අපට කිසිදා අමතක කළ නොහැකිය.

විශේෂයෙන්ම, 2015 වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පත් කළ ‘මහජන අදහස් විමසීමේ කමිටුවේ’ සභාපතිවරයා ලෙස එතුමා ඉටු කළ ඓතිහාසික මෙහෙවර මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුය. රට පුරා ගොස්, සාමාන්‍ය ජනතාවගේ හඬට සවන් දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ගොඩනැගීම උදෙසා එතුමා ඉදිරිපත් කළ ‘ලාල් විජේනායක කමිටු වාර්තාව’ ශ්‍රී ලංකා ව්‍යවස්ථා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නොඅනුමානය.

ලාල් විජේනායක මැතිතුමාට කිසිදු පෞද්ගලික න්‍යාය පත්‍රයක් තිබුණේ නැත. තනතුරු හෝ වරප්‍රසාද පසුපස නොගිය එතුමාට තිබුණේ මේ රටේ සෑම පුරවැසියෙකුටම නිදහසේ, අභිමානයෙන් ජීවත් විය හැකි සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණ පමණි.

එතුමාගේ නික්ම යාම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයටත්, සමස්ත සිවිල් සමාජයටත් පිරිමැසිය නොහැකි පාඩුවකි. නමුත්, ලාල් විජේනායක මැතිතුමාගේ දර්ශනය පෙරදැරි කරගෙන, එතුමාගේ ඒ උතුම් ප්‍රාර්ථනාවන් යථාර්ථයක් බවට පත් කිරීම එතුමාට දක්වන ඉහළම ගෞරවයයි.

එතුමාගේ වියෝවෙන් දැඩි සේ ශෝකයට පත් ආදරණීය පවුලේ සැමටත්, ඥාති මිත්‍රාදීන්ටත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මැතිතුමාට අමා මහා නිවන් සුව අත්වේවා!

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය

නායක,

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Leave A Comment