අගමැති හරිනි CHOGM විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) 2026 විධායක සැසියට සහභාගී වූවාය.

මෙම සැසියේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයෝ ප්‍රධාන ගෝලීය ආර්ථික හා සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කළ අතර, සාමාජික රටවල් අතර සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් පොදු අභියෝගවලට මුහුණ දීම සහ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර වෙළෙඳාම හා ආයෝජන පුළුල් කිරීම, පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ මූල්‍ය පහසුකම් සඳහා ඇති අවස්ථා වැඩිදියුණු කිරීම මෙන්ම සියල්ල ඇතුළත් සාධාරණ ගෝලීය ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය පද්ධති සහ වෙළෙඳ පද්ධති අතර සම්බන්ධීකරණයක් ඇති කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධානයට ලක් විය.

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි සාමාජික රටවලට සහාය වීම පිණිස දේශගුණික මූල්‍යකරණය සම්බන්ධ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කළහ. එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයේ අනාගතය ගොඩ නැගීම සඳහා තරුණ පරපුර සතු තීරණාත්මක කාර්යභාරය හඳුනා ගනිමින්, තරුණ කුසලතා සංවර්ධනය, ව්‍යවසායකත්වය සහ තරුණ තරුණියන් සඳහා ආර්ථික අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීම සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල තිරසර හා සියල්ලන් ඇතුළත් කරගත් වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමූහික ප්‍රවේශය ශක්තිමත් කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සහ ඒවා ගවේෂණය කිරීමට මෙම සැසිය හරහා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයන්ට අවස්ථාව සැපයීය.

Leave A Comment