එදා “රණවිරුවන්” වන්දනා කරපු සමාජය කෝ?

  • සිව් වසරක යුද්ධයේදී රුසියාව භාරගත් එකම විදේශික යුද සිරකරුවා ශ්‍රී ලාංකිකයෙක්
  • පිරිත් නූල් බැඳපු කෝටිපති විහාරස්ථාන වෙනුවට අද ඔවුන්ගේ දුක, සැප බලන්නේ කතෝලික පූජක තුමෙක් පමණයි

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ මොහොතේ ඉඳල විදේශිකයින් 5000කට වැඩි පිරිසක් යුද බිමේදී මිය ගිහින් තියෙනව.

ඒ අතරින් විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයින්. සමහර වෙලාවට අසල්වැසි රටවල සටන්කරුවන් හැරුණහම මියගිය වැඩිම විදේශිකයින් පිරිස ලංකාවෙන් වෙන්නත් පුළුවන්. ලංකාව ඒ තරම්ම වාසනාවන්ත රටක්.

යුක්‍රේන ආණ්ඩුවේ දත්ත අනුව මේ වෙනකොට ශ්‍රී ලාංකිකයින් 275ක් යුද බිමේදී මිය ගිහින් තියෙනව. ඒ 275 දෙනාගේම නම් ලැයිස්තුව මගේ ළඟ තියෙනව. නමුත් පැහැදිලිවම මිය ගිය පිරිස එයින් දෙගුණයකටත් වඩා වැඩියි. බොහෝ මළ සිරුරු යුද බිමේම දාල එනවා, ඒ නිසා බොහෝ මළ සිරුරු හඳුනාගන්නවත් විදියක් නැහැ. යුද බිමේ ඉන්න ශ්‍රී ලාංකික සෙබලෙක් මාත් එක්ක කිවුවේ සමහර තැන්වල කොයි තරම් මළ සිරුර ගොඩ ගහල තියෙනවද කිවුවොත් ඒ සිරුරු පාගාගෙන යන්නේ නැතුව ඉදිරියට යන්න විදියක් නෑ කියල.

ඒ නිසා ලංකාවේ යුද්ධයෙන් මියගිය හෝ අතුරුදහන් පුද්ගලයින් ගැන අවුරුදු විස්සකට පස්සෙත් නිසි සංඛ්‍යාලේඛන නැති විදියටම රුසියාවේ යුද්ධයට බැඳුණ හෝ ඒ යුද්ධයේදී මියගිය/අතුරුදහන් වුන ශ්‍රී ලාංකිකයින් ගැන සැබෑ සංඛ්‍යාලේඛන කවදාවත් හෙළිවෙන එකක් නැහැ.

මම හිතන විදියට 89 භීෂණයෙන් සහ අවුරුදු තිහක යුද්ධයෙන් පස්සේ – සංඛ්‍යාවෙන් ගොඩක් අඩු වුණත් – ලංකාවේ තුන්වෙනි අතුරුදහන් රැල්ල මේකයි.

ඒ වගේම රුසියානු හමුදාවට බැඳුන ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙක් යුක්‍රේනයේ අත් අඩංගුවේ ඉන්නවා.

වර්ණකුලසුරිය අජිත් රුක්මන් ප්‍රනාන්දු, වළිමුණි ආරච්චිලාගේ හේමන්ත චන්ද්‍ර කුමාර, ජයකොඩි ආරච්චිලාගේ ජෝර්ජ් ඇලෙක්සැන්ඩර්, අරුණ කූරගොඩගේ, ලක්ෂිත් දෆනාදුරගේ, තිලක් කුමාර හපුආරච්චි සහ බැදිවෙල මුදියන්සේලාගේ තිස්ස කුමාර ඒ හත් දෙනා. 

රටවල් 59කින් ආපු යුද සිරකරුවන් පිරිසක් යුක්‍රේන අත් අඩංගුවේ හිටියත්, මේ හත් දෙනා ඇරෙන්න වෙන කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ සටහන ලියන මොහොතේ යුක්‍රේන අත් අඩංගුවේ නැහැ. හරිම කණගාටුයි කියන්න සමහරු තවමත් පේන කාරයින්ගේ බොරු විශ්වාස කරලා අතුරුදහන් වුණ තමන්ගේ ඥාතියා “කොහේ හරි හිරකරගෙන ඉන්නවා” කියල හිතාගෙන ඉන්නවා. රුසියාව හිරකරගෙන ඉන්නවද කියල නම් මම දන්නේ නෑ නමුත් යුක්රේනයේ වෙන කිසිම ශ්‍රී ලාංකික යුද සිරකරුවෙක් නැහැ.

මගේ ප්‍රශ්නය “හිරකරගෙන ඉන්නවා” කියල ඔය පේන කාරයෝ දන්නවා නම්, ඒ මිනිස්සු නිදහස් කරගන්න විදිය කියල දෙන්නත් ඒ පේන කාරයින්ට බැරි ඇයි? ඇයි අපි මේ තරම් මේ බොරුකාරයින්ට අහුවෙන්නේ?

ඇත්තටම ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් යුක්‍රේන අත් අඩංගුවේ හිටිය.

අට වෙනියා, රොහාන් කුමාර, මීට මාස කිහිපයකට කලින් අවාසනාවන්ත විදියට අත් අඩංගුවේදී මියගියා. මට දැනගන්න ලැබුණ විදියට ඔහු මියගිහින් තියෙන්නේ තියෙන්නේ හදිසි අසනීපයකින්. මාධ්‍ය වාර්තා පලවෙන තුරුම ඔහුගේ පවුලේ සාමාජිකයින් ඒ බව දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සෙත් ඒ ගැන හරි විස්තරයක් දැනගන්න ඔවුන් රතු කුරුස සංවිධානය මාර්ගයෙන් ලොකු වෙහෙසක් ගත්ත බව මම දන්නවා.

අත් අඩංගුවේ ඉන්න ශ්‍රී ලාංකික යුද සිරකරුවන් හත් දෙනා අතරින් හතර දෙනෙක් එක්ක කතා කරන්න මට අවස්ථාව ලැබුණ. ඔවුන් කියන්නේ මේ වෙනකොට යුක්රේනය සහ රුසියාව අතර යුද සිරකරුවන් දහස් ගාණක් හුවමාරු කරගෙන තිබුණත් මේ වෙනතුරු කිසිම විදේශිකයෙක් හුවමාරු කරගෙන නැහැ කියල. (ඒ සාකච්ඡා කොමෙන්ටු තීරුවේ දාන්නම්.)

ඇත්තටම යුක්රේන ආණ්ඩුවත් ඒ බව කියල තිබුණ. යුක්රේනය කියන්නේ සිරකරු හුවමාරුවේදී රුසියාව විදේශිකයින් ඉල්ලන්නේ නැහැ කියල. ඒ නිසා මේ ගැන රුසියාවට වගේම තමන්ගේ ආණ්ඩුවලටත් බලපෑම් කරන්න කියල යුක්‍රේනය පෝස්ටර් ව්‍යාපාරයකුත් දියත් කරලා තිබුණ.

රුසියාව මේ වෙනතුරු යුක්‍රේනයේ ඉන්න කිසිම විදේශිකයෙක් හුවමාරු කරගෙන නැති වුණාට පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා රුසියාව එකම එක විදේශිකයෙක් හුවමාරු කරගෙන තිබුණ. ඒ තමයි මියගිය රොහාන් කුමාර ගේ දේහය. දේහය භාරගෙන තියෙන්නෙත් ඔහු මියගිහින් මාස ගාණකට පස්සේ. මෘත දේහයක් ඇරෙන්න, මම දන්නා තරමින් රුසියාව මෙතෙක් කිසිම විදේශික සෙබලෙක් සිරකරු හුවමාරුව යටතේ භාර අරගෙන නැහැ.

දැනට යුක්රේනයෙ අත් අඩංගුවේ ඉන්න හත් දෙනාගෙන් හය දෙනෙක්ම විශ්‍රාමික හමුදා සෙබළුන්. ඒ අතරින් මම කතා කරපු තුන් දෙනෙක්ම මට කිවුවේ යුද්දෙට යවන්නේ නෑ කියල ඔවුන්ව රවට්ටලා යුද්දෙට අරගෙන ගියා කියල. ඒ නිසා ඔවුන් යුද සිරකරුවන් හැටියට සලකනවට වඩා human smuggling වින්දිතයින් විදියට සැලකිය යුතුයි කියල දැන් හඬක් නැගෙමින් තියනවා. ඒ පදනම යටතේ මේ සිරකරුවන් නිදහස් කරගන්න රුසියාව එක්ක සාකච්ඡා කරනවට වඩා යුක්රේනය එක්ක සාකච්ඡා කරන්න හැකියාවක් තියෙන්න පුළුවන්.

යුද සිරකරුවන් දහස් ගාණක් මේ විදියට තියාගෙන ඉන්න යුක්රේනයට කිසිම ආසාවක් නැහැ. කීව් අගනුවරදී ආණ්ඩුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හමුවුණ වෙලාවේ ඔවුන් ඒ බව මට කෙලින්ම කිවුව. ඒ නිසා ලංකාව සහ අනිත් රටවලින් මිතුරු ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා නම් යුක්‍රේනය ඒකට සාධනීය ප්‍රතිචාරයක් දක්වාවි කියල මම විශ්වාස කරනවා. 

ඒත් එක්කම මේ කතාවත් කියන්න ඕන. මේ මිනිස්සු උතුරේ යුද වදින කාලේ, බුදු හිමියන්ගේ දර්ශනයට එරෙහිව යමින් යුද්ධයට ආ වඩපු, “රණවිරුවෝ” කියල මේ මිනිස්සු මුරුංග අත්තේ තියල පිරිත් නූල් බැඳපු කෝටි, ප්‍රකෝටි ගණන් වත්කම් තියන බෞද්ධ විහාරස්‌ථාන වෙනුවට යුද බිමෙන් විශ්‍රාම ගියාට පස්සේ දරු, පවුල් ජීවත් කරගන්න බැරිකම නිසා අනුන්ගේ යුද්දෙකට ගියපු මේ මිනිස්සුන්ගේ දුක සැප බලන්න මම දන්නා තරමින් ඉන්නේ එකම එක කතෝලික පූජකතුමෙක් විතරයි. ඒ, අනුරාධපුර පදවියේ බෙනට් මෙල්ලව පියතුමා.

රුසියාවේ යුද බිමේ අතුරුදහන් වුන “රණවිරුවන්ගේ” පවුල්වල දුක, සැපත් හොයමින්, යුක්‍රේනයේ අත් අඩංගුවේ ඉන්න අය බේරාගන්න උත්සහයකුත් දරමින් බෙනට් මෙල්ලව පියතුමා කරන මෙහෙය මම හොඳින්ම දන්නවා. එහිමියන් නැත්නම් සමහර දරු, පවුල් අද පාරට වැටිලා. එදා ඔවුන්ව මුරුංග අත්තේ තියපු සමාජයම අද ඔවුන්ට “කුලී හේවායෝ” කියල හෙලා දකිමින් ඉන්නවා.

රුසියානු හමුදාවට බැඳුන විදේශිකයින් සහ යුද සිරකරුවන් ගැන මම ජාත්‍යන්තර මාධ්‍ය වෙනුවෙන් සකස් කළ ලිපි මාලාවක් ඉදිරියේදී ප්‍රකාශයට පත්වෙන්න නියමිතයි. 

රුසියානු – යුක්රේන ගැටුම ගැන ඔබ නොදැන සිටි බොහෝ විස්තර සහ අලුත්ම වාර්තා Sandesahaya by Saroj යූටියුබ් නාලිකාවේ.

‍| සරෝජ් පතිරණ

Leave A Comment