ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ඉංජිනේරුවන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන් බඳවා ගැණුනු සහකාර අධ්‍යක්ෂවරුන් (ඉංජිනේරු) 14 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේදී සිදු කෙරිණි.

2030 වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම වර්ෂ 2050 වන වට කාබන් විමෝචනය බිංදුව කිරීමත් ඇතුළු බලශක්ති අරමුණු ඉෂ්ට කර ගැනීමේදී ප්‍රධානතම කාර්ය භාරයක් හිමි ආයතනයක් ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මුහුණ දුන් විශාල ගැටළුවක් වූ සුදුසුකම් සහිත ඉංජිනේරු හිඟය මේ පත්වීම් නිසා මග හැරෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්ති තුළ පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව හිමි වන බවත්, එම ඉලක්ක සැපිරීමේදී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වගකීම ඉතා විශාල බවත් ප්‍රකාශ කළේය. එහිදී සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන්ගේ හිඟය බරපතල ගැටළුවක් ලෙස තම අවධානයට ලක් වූ බවත්, ඒ අනුව, ජනාධිපතිතුමාගේත්, කැබිනට් මණ්ඩලයේත් අනුමැතියෙන් මෙලෙස නව පත්වීම් සඳහා බඳවා ගැනීම සිදුකළ අතර, කිසිඳු දේශපාලන හිතවත්කම් හෝ වෙනත් තරාතිරම් නොසලකා සුදුසුකම් පමණක් සලකා මෙම පත්වීම් ලබාදුන් බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම, විදුලිබල ක්ෂේත්‍රයේ අරමුණු හඳුනාගෙන දැඩි කැපවීමකින් හා අධිෂ්ඨානයකින් මෙන්ම කාර්යක්ෂමව සේවයේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

Leave A Comment