කැලණි කේබල්ස් ආයතනයෙන් කැලණි සවිය සමාජ සත්කාරයට මෙවරත් ලක්ෂ 17 ක්

විදුලි කාර්මික ශිල්පියා සෑම අවස්ථාවකම මහජන ආරක්ෂාවට වගකියන පුද්ගලයෙකු බවත් ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස  ගෘහස්ථ හා කර්මාන්ත විදුලි පරිපථ නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික කාර්යභාරය බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පවසයි.

ඒ සඳහා වන දැනුම හා පුහුණුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා කැලණි කේබල්ස් ආයතනය එක්ව සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන  කැලණි සවිය වැඩසටහන ඔස්සේ විශ්වවිද්‍යාල වරම් නොලද තරුණ තරුණියන්ට ලබාදෙන බවද ඒ මහතා කීය.

කැලණි සවිය 13 වැනි ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීම වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා  ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවේදී පැවැති උත්සවයේදී පීඨාධිපතිවරයා මේ බව පැවසුවේය. කැලණි කේබල්ස් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් 2007 වසරේදී මෙම සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ වූ අතර මේ වනවිට අදාළ පාඨමාලාව සාර්ථකව හදාරන ලද 500 කට ආසන්න පිරිසක් දේශීය හා විදේශීය වශයෙන් විදුලි කාර්මික වෘත්තියේ නිරතව සිටිති.

මෙම සත්කාර්යය ආරම්භ කළේ දැනුමෙන් සන්නද්ධ විදුලි කාර්මික ශිල්පීන් සමාජගත කිරීමේ අරමුණින් බවත් සාර්ථකව පාඨමාලාව හදාරා සමාජ ගතව සිටින පිරිස සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් විශාල ආදර්ශයක් සපයමින් සිටින බවත් මහචාර්යවරයා පැවසුවේය.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි 140 ක් ජලයෙන් යටවූ බවත් ඒවායින් ගොඩනැගිලි 08 ක පමණ  තිබූ විදුලි පරිපථ හා විදුලි උපකරණ යථා තත්ත්වට පත් කිරීම සඳහා ලංකා විදුලි බල පොදු සේවක සංගමය හා කැලණි සවිය ආදි විද්‍යාර්ථීන් එක්ව ඉහළ දායකත්වයක් ලබාදුන් බවත් ඒ මහතා කීය.

කැලණි කේබල්ස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය සුරංග පතිරණ මහතා අදහස් දක්වමින් කැලණි සවිය නිපුණතා සංවර්ධන සමාජ සත්කාරක වැඩසටහනට මේ වනවිට වසර 19 ක ගතව තිබෙන බවත්  ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය මගින් වාර්ෂිකව පවත්වන ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී මෙම සමාජ සත්කාරක වැඩසටහන 2025 වසරේදී කැලණි කේබල්ස් ආයතනය  රිදී සම්මානයෙන් පිදුම් ලැබූ බවත් කීවේය. ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස්  සම්මාන උළෙලේදී කැලණි කේබල්ස් ආයතනයට රිදී සම්මානයක් දිනා දීමටද මෙම සමාජ සත්කාරක වැඩසටහන හේතු වූයේ යැයි හෙතෙම අවධාරණය කළේය.

| කැලණි කේබල්ස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, ආචාර්ය සුරංග පතිරණ මහතා විසින් ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි මහාචාර්ය විජිත හේරත් මහතා වෙත චෙක්පත ලබාදුන් අයුරු.
| කැලණි කේබල්ස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, ආචාර්ය සුරංග පතිරණ මහතා විසින් ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි මහාචාර්ය විජිත හේරත් මහතා වෙත චෙක්පත ලබාදුන් අයුරු.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි මහාචාර්ය විජිත හේරත්, කැලණි සවිය සම නිර්මාතෘ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ඒකනායක, මහාචාර්ය මංජුල ප්‍රනාන්දු, ඉංජිනේරු පීඨයේ ඉංජිනේරු නිර්මාණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එස් යාපා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනක විජේකුලසූරිය, කැලණි සවිය පාඨමාලා අධ්‍යක්ෂ ආචාර්ය නිමල් රත්නායක, කැලණි කේබල්ස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය සුරංග පතිරණ, සන්නාම කළමනාකාර කස්සප යටවත්ත, කැලණි සවිය සම නිර්මාතෘ ජයන්ත විජේසිංහ, කැලණි සවිය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ජී.ඩි.කේ සමරනායක, කැලණි සවිය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ විධායක සභික ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුද සහභාගි වූහ.

| අසේල කුරුළුවංශ

Leave A Comment