ලංකා හොස්පිටල් (Lanka Hospitals PLC) “විශිෂ්ටත්වයේ හදගැස්ම (Pulse Of Excellence)” සම්මාන උත්සවය

රටක් ලෙස අප ආර්ථිකයෙන් පහළට ගියේ මූල්‍ය විනය නොමැති නිසා බවත්, මේවන විට මෙරට ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තිබෙනුයේ මූල්‍ය විනය මනා ලෙස පවත්වාගෙන යනු ලබන නිසා බව යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ලංකා හොස්පිට්ල් (Lanka Hospitals PLC) විසින් සංවිධානය කරන ලද “විශිෂ්ටත්වයේ හදගැස්ම  – (Pulse Of Excellence)” සම්මාන උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිණි. උත්සවය ඊයේ (26) පස්වරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත් වු අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පසුගිය වර්ෂයේ දී රෝහල අත්කරගත් සුවිශේෂී කාර්යසාධනය ඇගයීම සහ සැමරීමත්, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ  අනාගතය හැඩගැස්වීම සඳහා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කිරීමත් අරමුණින් මෙම උළෙල සංවිධානය කර තිබුණි.

මෙහි දී හෘද රෝග, බරියාට්‍රික් ශල්‍යකර්ම, බාහිර රෝගී (OPD) සහ විකිරණ විද්‍යා යන අංශ වෙනුවෙන් ඇගයීම් ද, වසර තුළ ඉහළම ස්නායූ  ශල්‍යකර්ම ප්‍රමාණයක් සිදු කිරීම වෙනුවෙන් ස්නායු විද්‍යා අංශය ද (Neurosciences), මූල්‍ය, තත්ත්ව සහති කිරීම (Quality Assurance), ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම මෙන්ම අලෙවි (Marketing) යන දෙපාර්තුමේන්තු  වෙත ජාතික සහ ජාත්‍යන්තර විශිෂ්ටතා සම්මානද, විශිෂ්ට සේවා සැපයීම සහ සුවිශේෂී මූල්‍ය කාර්ය සාදනය වෙනුවෙන් ලංකා හොස්පිට්ල් හි ඩයග්නොස්ටික්ස්  (Lanka Hospitals Diagnostics (Pvt) Ltd) විශේෂ ඇගයීම්  සම්මානය මෙහි දී පිරිනමනු ලැබී ය.

ප්‍රති ක්ෂුද්‍රජීවී ඖෂධ කළමනාකරණය (Antimicrobial Stewardship) සඳහා වූ ප්‍රථම පෞද්ගලික උපදේශක රෝහල ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ලංකා හොස්පිට්ල් (Lanka Hospitals PLC) නම් කරනු ලැබීම ද මෙහි දී ඇගයීමට ලක් කෙරිණි.

මෙම සම්මාන උත්සවයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රෝහලේ ජංගම විද්‍යාගාර සේවාවද (LHD Mobile Laboratory) වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් නිල වශයෙන් දියත් කෙරිණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ආයතනයක ස්ථාවර භාවයටත්, සංවර්ධනයටත් වැදගත්ම කරුණ වනුයේ ආයතනයේ මූල්‍ය විනය බව පෙන්වාදුන් අතර එය ආයතනයකට පමණක් නොව රටට ද අතිශය වැදගත්වන බව මේවන විට ඔප්පු වෙමින් පවතින බව ද පැවසීය.

2025 වර්ෂයේ දී රුපියල් බිලියන 5500ක රාජ්‍ය ආදායමක් භාණ්ඩාගාරයට එකතු කර ගැනීමට රජයට හැකියාව ලැබුණු බව මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා එය මෙතෙක් ලැබූ විශාලතම රාජ්‍ය ආදායම බව ද පැවසීය.

මේ වසරේ මේ වන විට රුපියල් බිලියන 1000ක රාජ්‍ය ආදායම ඉක්මවා තිබෙන බවත් ඉලක්ක ගත සීමාවට වඩා කෙටිකලකින් එය අත්පත්කර ගැනීමට හැකිවූ බව ද පෙන්වා දුන් ඒ මහතා ගෙවී  ගිය වසරේ දී දළ ජාතික නිෂ්පාදනයෙන් 17% වඩා රාජ්‍ය ආදායම් ප්‍රමාණයක් සනිටුහන් කිරීමට හැකිවූ බවත් පැවසීය. මීට වසර කිහිපයක පෙර මෙරට රාජ්‍ය ආදායම පැවතියේ ජී.ටී.බී අගයෙන් 8% – 9% බවත්, එය මේ වන විට 17% දක්වා වර්ධනය කරගෙන ඇති බව ද  සඳහන්කර සිටියේය.

මෑත අඩුම අයවැය පරතරයක් 2025 වර්ෂයේ වාර්තා කළ බව සදහන් කළ අමාත්‍යවරයා අපනයන ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 17 ආදායමක් සනිටුහන් කළ බවත්, මේ ආදී ආර්ථික දර්ශකවලින් ඉදිරියට පැමිණියේ මූල්‍ය විනය පවත්වාගෙන ගිය නිසා බව ද පැවසීය.

ගිය වසරේ දී ලක්ෂ 23 ඉක්මවූ සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණි බවත්, එයින් ඩොලර් මිලියන තුන ඉක්මවූ ආදායමක් ලැබූ බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. රට තුළ ඇතිවූ කම්පන දෙකක්වන දිට්වා සුලි කුණාටුව සහ මැදපෙරදිග යුධමය තත්ත්වයේ දී ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති නොවන ආකාරයෙන් එය කළමණාකරණය කර ගැනීමට හැකි වූ බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා රුපියලට වන බලපෑම අවම කර ගනිමින් එය ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකිවී තිබෙන බව ද පැවසීය.

ආර්ථිකය ප්‍රසාරණය වනවා සේම මෙරට ජනතාවගේ ජීවිතවලට විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම අතිශය වැදගත්වන බව පැවසූ අමාත්‍යවරයා සෞඛ්‍ය අභියෝගයන් කිහිපයක් තිබෙන බව ද ඒවාට මුහුණ දීමේ හැකියාව පවතින බවද පැවසීය.

රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධව එක සැලැස්මකට අනූව ගමන් කලහොත් සෞඛ්‍ය සේවාවේ අර්බුද ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන බවද  සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අද තිබෙන ගැටලු රැසකට පවතින ස්ථීරසාර විසඳුම බව ද පැවසීය.

මෙම අවස්ථාවට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික අංශ සංවර්ධන  අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන්, නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් (Lanka Hospitals PLC) සභාපති මේජර්  ජෙනරාල් (විශ්‍රාමික) වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා පිළිබඳ සමූහ අධ්‍යක්ෂ වෛද්‍ය සංජය රත්නායක, යන මහත්වරුන් ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලය, කළමණාකාරීත්වය, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය  මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.

Leave A Comment