අපේ ආණ්ඩුවේ හැරවුම් ලක්ෂය වූයේ අපේ කාන්තාවෝ – අනුර කුමාර දිසානායක
දැන් මේ දවස්වල කලබලකාරී තත්ත්වයක් වගේ හදාගෙන තිබෙනවා. ගමේ එහෙම තියෙනවද. ඒ කලබලේ ඔක්කොම තියෙන්නේ මාධ්යවල. ගමේ අද ශක්තිමත්ව වැඩ කරමින් තිබෙන බලවේගය තමයි ජාතික ජන බලවේගය, අපේ ආණ්ඩුව. හැබැයි මාධ්ය ඇතුලේ නිකන් කලබලකාරී තත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒකට හේතු තියෙනවා. අපි හැමදාමත් කියනවා අපේ ආණ්ඩුව ගොඩනැගුවේ මේ රටේ පොදු ජනතාව. ඒත් මම හිතනවා අපේ ආණ්ඩුව ගොඩනැගීමේ ප්රධානතම හැරවුම් ලක්ෂය බවට පත්වුණේ අපේ කාන්තාවෝ එක මිටට එකතු වීම. එහි ප්රතිඵලයක් ලෙස අපි 2024 සැප්තැම්බර් මාසේ ආණ්ඩුව හදාගත්තා. ඒ නිසා අපේ ආණ්ඩුව හදන ප්රධානම බලවේගය තමයි අපේ රටේ කාන්තාවෝ. ඒ විතරක් නෙවෙයි, මම දන්නවා මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නෙත්, මේ ආණ්ඩුවට දිගින් දිගටම ජයග්රහණ ගෙනත් දෙන්නෙත් මේ රටේ කාන්තාවෝ බව ජනාධිපති අනුර කුමාර දිසානායක බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් ප්රකාශ කලේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කලේ, විශේෂයෙන්ම අපි දන්නවා අපේ සහෝදරියන්, අපේ අම්මලා වැඩිම බලාපොරොත්තු තියන්නේ කවුරු කෙරෙහිද? තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් මහන්සි වෙන්නේ කවුරු වෙනුවෙන්ද? තමන් වැඩිම බරක් තමන්ගේ හිසට අරගෙන තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? දරුවෝ වෙනුවෙන්. තමන්ට තියෙන ජීවිතය, තමන්ට තියෙන විනෝදය, සතුට, ඒවත් පැත්තකින් තියනවා දරුවෝ වෙනුවෙන්. දරුවෙක් අසනීප වුණොත් තමන්ට අසනීප වුණාටත් වඩා වැඩියෙන් වේදනාවකින් පෙළෙනවා අපේ සහෝදරියන්, ඇයි දරුවෝ වෙනුවෙන්. දරුවන්ට උගන්නන්න වෙහෙස වුණොත් සමහර වෙලාවට දරුවන්ටත් වඩා වැඩියෙන් මහන්සි වෙන්නේ අම්මලා. ඇයි තමන්ට තමන්ගේ දරුවන් පිළිබඳ විශාල බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් තියෙනවා. මේ මොහොතේ ජීවත් වෙන ජනතාව අපි බලාගන්නත් ඕන, ඒ වගේම අපේ අනාගත පරම්පරාවට සුරක්ෂිත සහ ආරක්ෂිත රටක් ගොඩනැගීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්රධානම වගකීම ලෙස අපි සලකන්නේ.
චීන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී , මම ඇහුවා එතුමාගෙන් “චීනය විශාල ජයග්රහණයක් අත්පත් කරගෙන තියෙනවා. ලෝකයේ ප්රබල ආර්ථික බලවතෙක් හැටියට පත්වෙලා තිබෙනවා. තාක්ෂණයේ විශාල ඉදිරි පිම්මක් අරන් තියෙනවා. ලෝක වෙළඳපොළේ විශාල පංගුවක් චීනය අද අත්පත් කරගෙන තිබෙනවා, චීනය මේ තරම් විශාල ජයග්රහණයක් ලබාගැනීම පිටුපස තිබෙන රහස මොකක්ද කියලා මම එතුමාගෙන් ඇහුවා. එතුමා කිව්වා එකම රහස අපේ පැරණි පරම්පරාවන් විසින් කරපු කැපකිරීමේ ප්රතිඵල කියලා. ඒ කියන්නේ අද චීනය අත්පත් කරගෙන තියෙන ජයග්රහණ පිටිපස්සේ තිබෙන ප්රධානම කාරණය මොකක්ද, පැරණි පරම්පරාව ඒ රට ගොඩනැගීම සඳහා අපේක්ෂාවකින්, බලාපොරොත්තුවකින් කරපු කැපකිරීම තමයි අද චීනය මෙතෙන්ට ගෙනැල්ලා තියෙන්නේ කියලා එතුමා කිව්වා. දැන් එහෙනම් අපිටත් තියෙන්නේ මොකක්ද. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි කැපවෙමින්, වෙහෙසවෙමින්, මහන්සිවෙමින් වැඩ කරන්න ඕනෑ. අපේ අනාගත පරම්පරාවට කියන්න පුළුවන් වේවි අද ඔබ අත්පත් කරගෙන තියෙන ජයග්රහණයේ රහස මොකක්ද කියලා, අපේ අම්මලා තාත්තලා, අපේ වැඩිහිටි පරම්පරාව මේ රට වෙනුවෙන් කරපු කැපකිරීමේ ප්රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ කියලා. ඒක අපිට අවශ්යව තියෙනවා. එහෙමනම් අපි මූලිකම ඉලක්කය වන්නේ අපේ අනාගත පරම්පරාවට බියෙන්, සැකයෙන් තොරව ජීවත්විය හැකි, දෙමාපියන්ට තමන්ගේ සිත තුළ තමන්ගේ දරුවන්ට මොකක් සිද්ධ වේවිද කියලා අපේක්ෂාභංගත්වයකින් තොරව කටයුතු කළ හැකි රාජ්යයක් ගොඩනැගීමයි.

එහිදී ප්රධානම කරුණ වන්නේ දරුවන්ට හොඳ අධ්යාපනයක් ලබා දීමයි. අපේ අම්මලා ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරනවා. හැබැයි දරුවන්ට ප්රතිඵල පිළිබඳ ඒ තරම් සෑහීමකට පත්වෙන්න බෑ. එහෙමනම් කාලාන්තරයක් තිස්සේ අපේ රටට අවශ්ය වෙලා තිබුණා මේ ඒකාකාරීව ගලාගෙන යන, අලුත් දැනුම එකතු කරගන්නේ නැති, නව ලෝකෙට උචිත නොවෙන, මිනිස්සු අතර සහසම්බන්ධය, එකිනෙකා අතර හැඟීම් වර්ධනය නොවෙන පැරණි අධ්යාපන ක්රමය වෙනුවට නව අධ්යාපන ක්රමයක්. එහෙනම් දරුවන්ගේ අධ්යාපනය සඳහා වෙහෙසෙනවා වගේම අපිට වගකීමක් තියෙනවා, මොන අධ්යාපනයද දෙන්නේ, කොහොමද උගන්නන්නේ, ලෝකයේ තියෙන ප්රබලම ශ්රම වෙළඳපොළත් එක්ක තරග වදින්න පුළුවන් නිර්මාණශීලී දරුවෙක් හදන්නේ කොහොමද කියලා.මොකද අපිට පැරණි අධ්යාපන ක්රමය අපේ දරුවන්ට අනාගතය හදලා නැත්නම් අපි අලුත් අධ්යාපන ක්රමයකට යන්න ඕනේ.
ඉතින් අධ්යාපන අමාත්යවරිය ලෙස අග්රාමාත්යතුමිය විශේෂයෙන්ම විශාල වෙහෙසක් දරනවා මේ අධ්යාපන ක්රමය වෙනුවට නූතන අධ්යාපන රටාවක් අපේ රටට ගෙනෙන්න ඕන කියලා. එළඹෙන ජනවාරි මාසේ 6 පන්තියටත් 2 පන්තියටත් නව අධ්යාපන ප්රතිසංස්කරණ පටන් ගන්නවා. අලුත් අධ්යාපනයක් අපිට අවශ්ය වෙනවා. ඒ විතරක් නෙවෙයි, නව අධ්යාපන ක්රමය තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තිබෙන්නේ. ඒකට අවශ්ය තාක්ෂණික මෙවලම් භාණ්ඩාගාරයේ මුදල්වලින් අපි ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා. ස්මාර්ට් බෝඩ්, පරිගණක මේ සියල්ල ලබා දෙනවා. මම හිතන්නේ පාසල් 6,000 ගණනකට ෆයිබර් සබඳතා දීලා තියෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, අපි ගුරුවරු අලුතින් බඳවාගන්න තීරණය කරලා තිබෙනවා. විශ්වවිද්යාලවල අධ්යයන කාර්ය මණ්ඩල, අනධ්යයන කාර්ය මණ්ඩල බඳවාගන්න තීරණය කරලා තිබෙනවා. මානව සම්පතින්, භෞතික සම්පතින් සහ නූතන අධ්යාපන ක්රමයකින් අපේ දරුවෝ අපි රැකබලාගන්න ඕනේ. අන්න ඒ සඳහා ඉතාමත් වැදගත් පියවරක් අපි අරන් තියෙනවා. හැබැයි මොකද වෙන්නේ. පැරණි දේවල් ඇඳුමක් මාරු කරනවා වගේ ලේසියෙන් මාරු කරන්න බෑ. පැරණි දේවල් මාරු කරගෙන යනකොට මොකද වෙන්නේ පැරණි බලවේග, පැරණි කණ්ඩායම් ඒකට විරුද්ධව කෑගහනවා.
සමහර අය මම දැක්කා නව අධ්යාපන ප්රතිසංස්කරණය ගෙනාවොත් උපවාස කරලා මැරෙනවා කියලා කියනවා, ඇයි ඒගොල්ලෝ පැරණි ලෝකෙට අයිති අය. ඒ නිසා අලුත් ලෝකයකට අවශ්ය පරිවර්තනය පහසුවෙන් කරන්න බෑ. ඒ පහසුවෙන් කරන්න බැරි ඇයි? පැරණි ලෝකේ කට්ටිය මේකට බාධා කරනවා. හැබැයි හැමදෙනාම මතක තියාගන්න ඕනා, මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. කවර දේ ඇති වුණත් ජනතාවගේ දරුවන් වෙනුවෙන් අරන් තියෙන තීන්දුව ආපසු හරවන්නේ නැහැ, අපි ඒ වැඩේ කරනවා. ඒකට අපිට මහජන බලය අවශ්යයි. මොකද මේ නව වෙනස්කම් පැරණි අයගෙන් ලේසියෙන් කරන්න හම්බවෙන්නේ නෑ.
ඊළඟට අපේ දරුවෝ ලෝකෙට යනකොට අපේ දරුවන්ට මොන වගේ රටක්ද ඕනෑ? ලෝකේ දියුණුයි කියන සම්මත හැම රටකම පොදු කුලකයක් තිබෙනවා. හැම රටකම නීතිය සමානව ක්රියාත්මක වෙනවා. අපි අධ්යාපනය ප්රතිසංස්කරණය කරලා විතරක් ප්රමාණවත් නෑ. අපේ දරුවන්ට අපි හදන රටේ නීතිය, සාධාරණත්වය හදන්න ඕනෑ. නීතිය සාධාරණත්වය නොහැදුනොත් ඒ දරුවන් ඒ රට ඇතුලේ අනාරක්ෂිතයි. අපිට උගන්නන්න පුළුවන්.දෙමාපියන්ට තමන්ගේ රැකවරණය තියෙනකල් බලාගන්න පුළුවන්. හැබැයි ඒ දරුවා සමාජයට යනකොට සමාජයේ තිබෙන නීතිය කඩාවැටුණු රටක් නම්, එකිනෙකාට වෙන වෙනම සලකන නීතියක් තියෙන රටක් නම් ඒ දරුවන්ට ආරක්ෂාව නැහැ.

එහෙනම් ඒ දරුවන්ට ආරක්ෂාව ලැබෙන්නේ නම් නීතිය සමානව ක්රියාත්මක වෙන්න ඕනෑ. හැබැයි අපේ රටේ සමානව නීතිය ක්රියාත්මක වුණේ නෑ. මොකද වෙන්නේ. ගමේ ඉන්න දේශපාලන අධිකාරියට සම්බන්ධ ලොකුම චණ්ඩියා ගස් කපනවා. හැබැයි එයාට නීතිය ක්රියාත්මක වෙන්නේ නැහැ. එයා දේශපාලන බලයෙන් ආරක්ෂා කරනවා. ගමේ ඉන්න දේශපාලන රැකවරණය තියෙන ලොකුම චණ්ඩියා නීති විරෝධී වැලි ගොඩදානවා. ඒකට නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ. එතකොට පාරිසරික පද්ධතිය කඩාවැටෙනවා. ගමේ ඉන්න දේශපාලන රැකවරණය ලබන ලොකුම චණ්ඩියා නීති විරෝධී මත්ද්රව්ය අලෙවි කරනවා, විකුණනවා, නීතිය ක්රියාත්මක වෙන්නේ නැහැ. ඇයි, දේශපාලන රැකවරණය තියෙනවා. අන්න එහෙම රටක දරුවන්ට රැකවරණය තියෙනවද. දරුවන්ටත් මුළු සමාජයටත් රැකවරණය තියෙන්න නීතිය හැම කෙනාටම සමානව ක්රියාත්මක වෙන්න ඕන. නීතිය ඉදිරියේ සැමදෙනාම සමානයි, හැබැයි ඒ පරිවර්තනය ලේසි නෑ. නීතියෙන් රැකවරණය ලබපු අය හිටියා. නීතියෙන් බේරුණු අය හිටියා. නීතියෙන් වරප්රසාද ගත්තු අය ඉන්නවා. ඒගොල්ලෝ කවදාවත් කැමති නැහැ නීතිය සමාන රටක් හදනවාට. ඒගොල්ලන්ට නීතියෙන් හැමවෙලාවේම වරප්රසාද තියෙන්න ඕන. රැකවරණය තියෙන්න ඕන. ආරක්ෂාව තියෙන්න ඕන. ඒගොල්ලෝ නීතියෙන් බේරෙන්න ඕනා, පහළ අයට නීතිය ක්රියාත්මක වෙන්න ඕන. අපේ රටේ නීතිය පිළිබඳව තිබුණ අදහස වුණේ නීතිය මකුළු දැලක් වගේ කියලා. ඒ කියන්නේ පොඩි අය අහුවෙනවා, ලොකු අය කඩාගෙන යනවා. අපේ රටේ නීතිය එහෙම තිබුණේ. අපිට අවශ්යයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හැම කෙනාටම සමාන නීතියක් තියෙන රටක් හදන්න. අපි ඒක හදනවා.
හැබැයි ඒක හදනකොට පරණ නීතියෙන් වරප්රසාද ලබපු, නීතියට වඩා උඩින් හිටපු අය කලබල වෙනවා. මේ දවස්වල ටිකක් වැඩියෙන් කලබල වෙලා. ඇයි, මේ දවස්වල නීතිය තමන් ළඟට ළඟා නොවෙයි කියලා හිතපු අය ගාවට නීතිය ඇවිල්ලා තියෙනවා. කවදාවත් හිතුවේ නැහැ. අද නීතිය කාටත් සමානයි. එතකොට අන්න පැරණි නීතියෙන් වරප්රසාද ලබපු, නීතියෙන් රැකවරණය ලබපු, නීතිය ඉදිරියේ තමන්ට දඬුවම් ලැබෙයි කියලා හිතන අය මොකද කරන්නේ, ඒකට එරෙහිව කෑගහන්න පටන් ගන්නවා. මේකයි මේ තියෙන තත්ත්වය. එතකොට නීතිය පිළිබඳව අවසන් වගකීම කාටද, පාර්ලිමේන්තුව පනත් හදලා දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ඒ පනත්වලට අනුව නඩු දානවා. ඒ නඩුවලට අවශ්ය වන පරීක්ෂණ ටික අල්ලස් කොමිසම, CID එක, පොලීසිය කරලා දෙනවා. අවසානයේදී ඒ නීතිය අවසන් වගවිභාගයට ලක් කිරීම අධිකරණය විසින් සිදු කරනු ලබනවා. ඒ අධිකරණයේදීත් අවසානයේ නීතිය වගවිභාගයට ලක් කරන්නේ ශ්රේෂ්ඨාධිකරණය. ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනවා. තීන්දුවක් දුන්නාම ‘නෑ ඒක අයින් කරන්න’ කියලා කෑගහනවා. දැන් කොහෙද මේ නීතිය තියෙන්නේ එතකොට. එහෙම නීති තියෙන්න බෑ රටක. ඒ නිසා මතක තබාගන්න, ඒ ආයතනවලට අපි නීතිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය බලය දීලා තිබෙනවා.
අධිකරණ පද්ධතිය විසින් ලබාදෙන තීරණ මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණය ලෙස අපි සලකනවා. අධිකරණය ලබාදී තිබෙන තීරණයට අපි යටත් වෙනවා. එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා. අන්න එතකොට තමයි දරුවන්ට රැකවරණයක් තියෙන රටක් හදන්න පුළුවන්. ඊළඟට මේ නීතිය බිඳවැටීමේ ප්රතිවිපාකයක් හැටියට මොකද වුණේ. අපේ රටේ පාතාලය, කුඩු ව්යාප්ත වෙන්න පටන් ගත්තා. මේ නීතිය බිඳවැටීමේ ප්රතිඵල. නීතිය ලොකු අයට ක්රියාත්මක වෙන්නේ නැතුව ගියා. නීතිය ආරක්ෂාව දුන්නා. කුඩු අල්ලපුවහම මත්ද්රව්යකාරයන් ගිහිල්ලා බදාගන්නවා, සංඥාවක් දෙනවා ‘අන්න මේ කුඩු ව්යාපාරය අපිත් එක්ක’ කියලා. මේ කුඩු ආරක්ෂා කරන්නේ දේශපාලන අධිකාරිය. ඒගොල්ලන් ඡන්දවලට සල්ලි පොම්ප කරනවා, ඒගොල්ලෝ ඡන්දවලට වාහන එවනවා, ඒගොල්ලෝ ඡන්දවලට කෑගහන්න පටන් ගන්නවා. විශාල දේශපාලන රැකවරණයක් සමග මේ කුඩු සහ අපරාධ කල්ලි වර්ධනය වුණා.
ඒ අනුව මත්ද්රව්ය ඈත ගම් නියම්ගම් දක්වා පැතිරෙමින් තිබෙනවා. අපේ දරුවන් ගිලගන්න මහා රක්ෂයෙක් අපේ මේ සමාජයේ අද සැරිසරනවා. ඒ රාක්ෂයා වෙන කවුරුත් නෙමෙයි, මත්ද්රව්ය. අපේ ළඟ තියෙන වාර්තා අපි පස්වෙනිදා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. පාසල් දරුවන් කොච්චර ප්රමාණයක් අපි අත්අඩංගුවට අරන් තියෙනවද, ඉගෙනගන්න දැරිවියන් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. අපි පිළිගන්න මහා ගෞරවයට භාජනය වුණු ආයතනවල, සංස්ථාවල කට්ටිය අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා. අපේ ගෞරවයට භාජනය වෙච්ච ස්ථානවල අයත් මේ මත්ද්රව්ය උවදුරේ ගොදුරු බවට පත්වෙලා මුළු සමාජයම ඛේදවාචකයක් වෙලා තිබෙනවා. පොලීසියේ අතලොස්සක් මෙහි ගොදුරු බවට පත්වෙලා තිබෙනවා.
ඒ නිසා මේ රාජ්ය පාලනය මෙහෙම තියෙන ගමන් යටින් රාජ්යයක් තියෙනවා.ඒ පාතාලකාරයාට පුළුවන් පාස්පෝට් කාර්යාලයට ගිහිල්ලා පාස්පෝට් තුන හතරක් හදාගන්න. ඒ කුඩු ව්යාපාරිකයාට පුළුවන් RMV එකට ගිහිල්ලා එකම වාහනයට පොත් හතරක් පහක් ගන්න. ඒ කුඩු ව්යාපාරිකයාට පුළුවන් කස්ටම් එකට ගිහිල්ලා තමන්ගේ කුඩු කන්ටේනරය පන්නගන්න. මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මේ ජාලය මේ දක්වා වර්ධනය වෙලා තිබෙනවා. දරුවන්ට එහෙම සමාජයක රැකවරණයක් තියෙනවද. ඕගොල්ලෝ තමන්ගේ දරුවා මොනතරම් තමන්ගේ ගෙදර ආරක්ෂා කරගත්තත්, එක අවධියක් වෙනවා දරුවා සමාජයට මුදාහරින්න වෙනවා. අම්මා පිටිපස්සෙන් ගියපු කාලය අවසන් කරන්න වෙනවා. තාත්තා සොයාබලපු කාලය අවසන් කරන්න වෙනවා. සමාජයට දරුවා ස්වයං දරුවෙක් හැටියට නිදහස් කරන්න වෙනවා. හැබැයි නිදහස් කරන්න පුළුවන්ද?

මේ සමාජය කුඩු, අපරාධ, පාතාලයෙන් මේ සමාජය පිරිලා තියෙනවා. දැන් මොකද කරන්න ඕනා. අපේ ආණ්ඩුව ගිය අවුරුද්දේ මේ කුඩු ව්යාපාරය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළා. එහි ප්රතිඵලයක් ලෙස අපි අද මත්ද්රව්ය තොග විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවන්ට ආරක්ෂාව, රැකවරණය තියෙන රටක් හදන්න නම් මත්ද්රව්ය සහ පාතාලය විනාශ කරන්න ඕන. හැබැයි කරන්න යනකොට මොකද වෙන්නේ.ඒ මත්ද්රව්ය ජාලයෙන් රැකවරණය ලැබපු අය, ඒ පාතාලයෙන් රැකවරණය ලැබපු අය, මුදල් ලැබුණු අය, වාහන ලැබුණු අය, ගෙවල් ලැබුණු අය. ඒගොල්ලෝ කලබල වෙනවා කලබල වෙලා කියනවා ‘අපෝ මේ ආණ්ඩුවට වැඩිදුරක් යන්න දෙන්න හොඳ නැහැ’ කියලා. ඇයි ඒගොල්ලෝ අත්අඩංගුවට පත්වෙනවා. ඒකයි මේ කලබල ඇති කරන්නේ මාධ්ය නාලිකා දෙකක් උපයෝගී කරගෙන, ඒ නාලිකාවලට සමහර විට මේ චෝදනා එල්ල වෙච්ච ඉතිහාසයක් තිබුණා. ඒ නිසා මේ ඔක්කොම මේ අපරාධවලට සම්බන්ධ ජාලය. ඒකේ දේශපාලඥයෝ හිටියා, ඒකේ කළු ව්යාපාරිකයෝ ඉන්නවා, ඒකේ පාතාලය ඉන්නවා, ඒකේ මාධ්ය නාලිකා එකක් දෙකක් ඉන්නවා. හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ට අවශ්යයි මේ පාතාලයට, මේ කුඩු ව්යාපාරයට එරෙහිව යන ව්යාපාරය නතර කරන්න.
ඒ වගේම අනාගතයේ ගැටුම්කාරීත්වයක් ඇති නොවන රටක් අපේ දරුවන්ට අවශ්යයි. අපේ රට අවුරුදු 30ක් අනවරත යුද්ධයක හිටියා. ඒ යුද්ධයේදී විශේෂයෙන්ම මේ බදුල්ලේ, මහියංගණය ප්රදේශයේ අම්මා තාත්තාගේ දරුවෝ යුද්ධයට ගිහිල්ලා මියගියා මේ රට වෙනුවෙන්. අපිට මතකයි මීට අවුරුදු හත අටකට කලින් ගත්තහම, මේ ගොඩක් තැන්වල මියගිය රණවිරුවෙක්ගේ නමින් බස් නැවතුම්පොළ හදලා තිබුණා. කනත්තට ගිහිල්ලා බලපුවහම ලොකුම සොහොන් කොත තිබුණේ උතුරේ යුද්ධයට ගිහිල්ලා මියගිය අපේ අම්මා තාත්තාගේ දරුවන්ගේ. ඒ නිසා මේ රටේ පුරවැසියන්, තරුණ තරුණියන් එකිනෙකා ඇනකොටා ගන්නේ නැති රටක් අපි හදන්න ඕනා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් හදන්න ඕනා. එකිනෙකා අතර වෛරයෙන්, ක්රෝධයෙන්, කෝපයෙන් බලන රටක් අපිට ඕන නැහැ. අපිට ඕන ජාතික සමගිය තියෙන රටක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කවුරුත් අපේ දරුවන් සහෝදරත්වයෙන් වෙළීගෙන ජීවත් වෙන රටක් ඕන. ඒක හදන්න අමාරුයි. අද පැරණි බලවේගවලට තියෙන එකම රැකවරණය ජාතිවාදයයි. ඔවුන්ට ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න බැහැ, ඒගොල්ලන්ගේ ප්රජාතන්ත්රවාදී ඉතිහාසය ජනතාව දන්නවා. ආර්ථික වර්ධනය ගැන කතා කරන්න බැහැ, ගෑස්, ඩීසල්, විදුලිය නැති කරපු ඉතිහාසය ජනතාව දන්නවා. ඒගොල්ලන්ට වංචා දූෂණ ගැන කතා කරන්න බැහැ, එයාර් ලංකාවලින්, මහබැංකුවෙන් ගහපු ඉතිහාසය ජනතාව දන්නවා. ඒගොල්ලන්ට අපේ රටේ අධ්යාපනය ගැන කතා කරන්න බැහැ, ඒකට කරපු විනාශය රටේ ජනතාව දන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ මොකක්ද ‘ජාතිය බේරගන්න ඕනේ, ජාතිය අනතුරේ’ – ඔච්චරයි! මතක තියාගන්න, මේ ලාංකීය ජාතිය අනතුරට නොවැටෙන්න මේ රට පාලනය කිරීමත්, අනාගතයට ගෙනයාමත් ජාතික ජන බලවේගයේ අපේ වගකීම, අපි ඒක ඉටු කරනවා.
හැබැයි ජාතික සමගියට ඉඩදෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕන යළි කවර ආකාරයේ හෝ ජාතිවාදයක් උස්සලා ගැටුමක් හදන්න. උතුරෙත් ඉන්නවා පැරණි දේශපාලන ව්යාපාර, ඒගොල්ලන්ට වෙන පැවැත්මක් නැහැ උතුරේ. ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට පහුගිය මැතිවරණයේදී යාපනය දිස්ත්රික්කයේ ජනතාව ජාතික ජන බලවේගය ජයග්රහණය කරෙව්වා. වන්නිය ජයග්රහණය කළා, ත්රිකුණාමලය ජයග්රහණය කළා, නැගෙනහිරත් එහෙමයි. ඒ කියන්නේ මොකක්ද උතුරේ, නැගෙනහිර භේදයකින් තොරව ජනතාව අද ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට උතුර, නැගෙනහිර, දකුණ, මේ කඳුකරය නුවරඑළිය අපි ජයග්රහණය කරනවා, බදුල්ල අපි ජයග්රහණය කරනවා. මේ සියලු ජනතාව විශ්වාස කළා මේ පක්ෂය, මේ ව්යාපාරය මොකක් වෙනුවෙන්ද, හැම කෙනාටම ආරක්ෂිත රටක්, හැම කෙනාටම තමන්ගේ සංස්කෘතික අනන්යතාවයන් සහිතව ගෞරවනීය ලෙස ජීවත් වෙන්න පුළුවන් රටක් අපේක්ෂා කළා. අපි ඒක හදනවා. හදන්න එනකොට පැරණි ජාතිවාදී පිල්ලි නැගිටිනවා. මේකයි තියෙන අනතුර.මේකයි තියෙන කලබලය. මතක තියාගන්න, ඒ කිසිම පිල්ලියකට යළි මේ රටේ දේශපාලන බලය නෙවෙයි, අඟලකින්වත් උඩට එන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැති බව අපිට විශ්වාසයි,
අපේ රටේ යුද්ධ හදපු දේශපාලනය, අපේ රටේ තරුණයන් දහස් ගණනක් මරාදැමූ දේශපාලනය, අපි වෙනස් කරනවා. වෙනස් කරනකොට මොකද කරන්නේ පැරණි ජාතිවාදීන් නැගිටින්න පටන් ගන්නවා. ඒ නිසා අපි එහෙම පැති කීපයකින් ගත්තොත්, අධ්යාපනයට පැරණි පිල්ලි කලබල කරනවා, මත්ද්රව්ය කුඩුවලට විරුද්ධව කටයුතු කරද්දි ඊට එරෙහිව පැරණි පිල්ලි කලබල කරනවා, ජාතික සමගිය හදනකොට ජාතිවාදී පිල්ලි කලබල කරනවා.මේකයි අද තියෙන තත්ත්වය. හැබැයි මතක තබාගන්න, ඒ කලබලවලට මාධ්ය නාලිකා එකක් දෙකක් ඉන්නවා, ඔය පරණම පිල්ලි ටික ඉන්නවා. මේ රටේ පොදුජනයා නැහැ.
මේ රටේ පොදු ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. අද බදුල්ල මේ නගරයට දස දහස් සංඛ්යාත කාන්තාවන් එකතු වෙලා මේ කියාපාන්නේ ‘මේ ආණ්ඩුව තමයි අපේ රටේ අනාගතය, මේ ආණ්ඩුව තමයි අපේ රටේ දරුවන්ගේ සුරක්ෂිතභාවය’ කියන පණිවිඩය තමයි මේ ලබාදෙන්නේ. ඒ නිසා නිකන් ආණ්ඩුකරණය කරන්න බෑ. ඉස්සර කට්ටියට ආණ්ඩුව අරගෙන ආණ්ඩු කරගෙන යන්න පුළුවන්. එහෙත් දැන් ආණ්ඩුව කරන්න ඕනා, ඒ වගේම අර එරෙහි වෙන පිල්ලි, කුමන්ත්රණ පරාද කරන්න ඕන. මම දැක්කා ඊයේ, ජනවරම සුරකින පුරවැසියෝ දහස් සංඛ්යාත පිරිසක් කොළඹට එනවා. මේ කුමන්ත්රණ පරාද කරන්න ඕනෑ. මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ජනතාවගේ න්යායපත්රයට වැඩ කරමින් තිබෙනවා, ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවා. දැන් ඒකට එරෙහිව කුමන්ත්රණ ක්රියාත්මක කරන්න උත්සාහ කරනවා. මතක තබාගන්න, අනෙක් හැම ආණ්ඩුවක්ම ඒ කුමන්ත්රණවලට යටවෙන්න පුළුවන්, කුමන්ත්රණවලට ගොදුරු වෙන්න පුළුවන්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එවැනි කිසිදු කුමන්ත්රණයකට ගොදුරු කරගන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි.

ඒ වගේම මේ වංචාව, දූෂණය, නාස්තිය අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න ප්රධාන හේතුවක් වුණා. අපි එළියේ ඉඳන් දැක්කට වඩා වැඩියි ඇතුලට ගිහිල්ලා බලපුවහම මහජනයාගේ ධනය කොච්චර නාස්ති කරලා තියෙනවද, කොච්චර විනාශ කරලා තියෙනවද, කොච්චර හොරකම් කරලා තියෙනවද. ඇත්තටම හරියට පරීක්ෂණ කළොත් කවුරුවත් ඉතුරු වෙන්නේ නෑ. මේක ඇත්ත තත්ත්වය. අපි වංචා දූෂණයට එරෙහිව ක්රියාත්මක වෙනවා, අත්අඩංගුවට ගන්නවා, පරීක්ෂණ පවත්වනවා, නඩු දානවා, අධිකරණයෙන් දඬුවම් ලබාදෙනවා. මේ වැඩේ අපි හරියට කරනවා. මේක මේ ඉතුරු අවුරුදු තුනේම කරනවා, ඊට පස්සේ ඊළඟ සැරෙත් අල්ලනවා. මේක අවුරුද්දෙන් දෙකෙන් ඉවරවෙන එකක් නෙමෙයි. සමහර ඒවා, සමහර රටවල් එක්ක සම්බන්ධයක් තියෙනවා, සමහර රටවල්වලට පැනලා ගිහිල්ලා ඉන්නවා, ඒගොල්ලෝ ගෙන්නගන්න ඕන. සමහර ඒවට ඒ රටවල්වල බැංකුවල විස්තර ගෙන්නගන්න ඕන. සමහර ඒවට රටවල්වලින් ඇවිල්ලා සාක්ෂි දෙන්න ඕනෑ. වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මේ රටේ වංචා දූෂණය තුරන් කරනවා විතරක් නෙවෙයි,මේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරපු හැම කෙනාටම නීතිය ඉදිරියට පමුණුවා, දඬුවම් ලබාදෙනවා. එතකොට කලබල වෙනවා. මතක තියාගන්න, තව කලබල වෙන්න ඕනේ මේගොල්ලෝ.
ඒගොල්ලෝ හැමදාම හිතුවා මේ ඔංචිල්ලාව ඒ පැත්තට යනවා, මේ පැත්තට එනවා. දෙපැත්තට මේ ඔංචිල්ලාව ගමන් කරමින් තිබුණා. අර පැත්තට යනකොට කට්ටියක් ඒකේ, මේ පැත්තට යනකොට අරකේ කට්ටියක් ආයේ නැගලා මේ පැත්තට ආවා. අලුත්ම කට්ටියක් ආවේ නැහැ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ නොසිතූ දෙයක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ තොටිල්ල ගැස්සෙන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ හිතුවේ නැහැ ඒගොල්ලන්ගේ වංචා දූෂණ පිටුපස හඹාගෙන යන පාලනයක් හැදෙයි කියලා. දැන් හැදිලා තියෙනවා. අන්න කලබල වෙනවා, කුමන්ත්රණ ඇති කරනවා. මේක තමයි අද සමාජයේ තියෙන තත්ත්වය. ඒ නිසා මම හිතන්නේ අපිට තියෙනවා දේශපාලනයක්. අපි ආර්ථිකය හදන්නම්, අපි සෞඛ්ය ක්ෂේත්රය, පාරවල්, පාලම්, නිවාස මේ සඳහා විශාල වැඩ කොටසක් අපි කරනවා. හැබැයි අපි ආණ්ඩු කරනවා වගේම අපි දේශපාලනය කරන්න ඕන. අපේ දේශපාලන වැඩේ තමයි මෙන්න මේ කුමන්ත්රණකාරී දුෂ්ට බලවේගයන්ට යළි අපේ රටේ ගම්වල හිස ඔසවන්න දෙන්න බැහැ. ශක්තිමත් විදිහට ගම්වල අපේ ශාඛාව හදන්න ඕනා.
ගම්වල වැඩ කරන්න ඕන. ගම රැකබලාගන්න ඕනා. පාරවල් හදනකොට පාරවල් හරියට හදනවද කියලා බලන්න ඕන. මේ විදිහට ශක්තිමත් පුරවැසි ව්යාපාරයක් බවට අපේ දේශපාලන ව්යාපාරය පරිවර්තනය කරන්න ඕනේ.
මොකද අපිට තියෙන්නේ හුදු ආණ්ඩුකරණයක් විතරක් නෙවෙයි. ආණ්ඩුවට එන ප්රතිරෝධ විතරක් නෙමෙයි, දේශපාලන ගැටුමක් තියෙනවා මෙතන. පැරණි විනාශකාරී දේශපාලන කණ්ඩායම විවිධ ආකාරයෙන් කුමන්ත්රණකාරී ලෙස බලය අත්පත් කරගැනීම සඳහා දරන ප්රයත්නයන් තියෙනවා. ඒවට ඉඩක් නැහැ, හැබැයි ප්රයත්නයක් තියෙනවා. අන්න ඒකට එරෙහිව ශක්තිමත්ව ග්රාමීය වශයෙන් විහිදුණු ශක්තිමත්ම දේශපාලන ව්යාපාරය ජාතික ජන බලවේගය බවට අපි පරිවර්තනය කරලා තියෙනවා. මේක අපේ බලය. එක පැත්තකින් ආණ්ඩු බලය තියෙනවා, අපි ආණ්ඩුව කරමු. ඒ වගේම දේශපාලන බලය ගම් මට්ටමින් ශක්තිමත් කරගමු. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම හැමදාමත් අපිට ශක්තිය දුන්නේ, ධෛර්යය දුන්නේ අපේ කාන්තාවෝ, අපේ සහෝදරියන්.
පහුගිය 2024 ජනාධිපති ඡන්දය දිනයිද නැද්ද කියලා සැකයක් තිබුණු කාලයක් තිබුණා. ඔය කිව්වට ජනතාවත් ඡන්ද දෙයිද නැද්ද දන්නේ නැහැ, ඔය කිව්වට දිනන්න පුළුවන් වෙයිද බැරිද දන්නේ නැහැ කියලා සැකයක් තිබුණු කාලයක් තිබුණා. හැබැයි අපි ‘ගැහැනු අපි එක මිටට’ රැස්වීම් මාලාව මාතරින් පටන් ගත්තා, දස දහස් සංඛ්යාත කාන්තාවෝ ආවා. හැමදෙනාම කිව්වා කාන්තාවෝ ආවා කියන්නේ දිනනවා තමයි කියලා. මේක තමයි අපේ රටේ දේශපාලන සංඥාව. සහෝදරියන් කොයි දිශාවටද, ඒ දිශාව තමයි ජයග්රහණය කරන්නේ. ඒ නිසා අද ශක්තිමත්ම කාන්තා ව්යාපාරය, ශක්තිමත්ම කාන්තා හඬ, ශක්තිමත්ම කාන්තා සංවිධාන ජාලය, ශක්තිමත්ම කණ්ඩායම අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ බලය ආයේ හොල්ලන්න පුළුවන් බලයක් නෙවෙයි, මේ සහෝදරියන් අපිත් එක්ක ඉන්නතාක් කල්. ඒ නිසා මම හිතනවා අපි ඔක්කොම ගිහිල්ලා ගම්වල එකතු වෙලා ශක්තිමත්ව ව්යාපාරය හදමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම කැපවෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තූතියි හැමදෙනාටම, ජය වේවා කියලා ප්රාර්ථනා කරනවා!
