කොත්මලේ මිටියාවතින් නැඟී රට දිනූ යුග පුරුෂයා
- දිවංගත ගාමිණි දිසානායකයන්ගේ 32 වන ගුණානුස්මරණය වෙනුවෙනි
දේශපාලනඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අතර වෙනස මනිනු ලබන්නේ ඔහු ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කරනවාද, නැතහොත් මතු පරපුරේ අනාගතය වෙනුවෙන් තීන්දු ගන්නවාද යන්න මතය. 1994 ඔක්තෝබර් 24 වන දින තොටළඟදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අකාලයේ නිහඬ කරනු ලැබුවේ එවන් අතිදුර්ලභ ගණයේ දැක්මක් සහිත නායකයෙකි. ගාමිණි දිසානායක නම් වූ ඒ අසහාය යුග පුරුෂයා දැයෙන් සමුගෙන අදට (2026 ඔක්තෝබර් 24) වසර තිස්දෙකක් සපිරෙයි.
කාලයේ වැලි තලාවෙන් බොහෝ දේශපාලනඥයන්ගේ නම් මැකී ගියද, අදටත් අප රටේ ජල විදුලි බලාගාරයකින් බල්බයක් දැල්වෙන විට, රජරට කෙත්බිමක අස්වනු පැසෙන විට, ටෙස්ට් ක්‍රිකට් තරඟයක් නරඹන විට විට අපට නිසඟයෙන් සිහිපත් වන්නේ දිවංගත ගාමිණි දිසානායකයන්ය.
ඓතිහාසික වශයෙන් කොත්මලේ යනු මෙරට හැරවුම් ලක්ෂ්‍යයන් සනිටුහන් කළ භූමියකි. මීට සියවස් ගණනාවකට පෙර දුටුගැමුණු කුමරු තම රාජකීය කඩුව දෙහදු කඩුල්ලේ සඟවා, කොත්මලේ වෙල්යායන්හි ගොවිතැන් කරමින් ජනතාවගේ නාඩි හඳුනාගත්තේ යම් සේද, ගාමිණි දිසානායකයන්ද තම මුල් පන්නරය ලැබුවේ ඒ කොත්මලේ මිටියාවතෙනි. සුවිශේෂී කරුණ නම්, ගාමිණි දිසානායකයන්ගේ නිවස හරියටම පිහිටා තිබුණේ ද දුටුගැමුණු කුමාරයා අස්වැද්දූ කුඹුර පාමුලයි.
ඔහුගේ පියා වූ ඇන්ඩෲ දිසානායක මහතාගේ ආභාසය ලබමින්, කඳුකර ගොවි ජනතාවගේ දුෂ්කරතා සියැසින් දුටු ඔහු 1970 දී දේශපාලනයට පිවිසියේද කොත්මලය අයත් නුවරඑළිය ආසනයෙනි. එදා ගැමුණු කුමරු වීසුරු ගෙදර අත්තම්මාගෙන් ලද උපදෙස් අනුව යමින් රට එක්සේසත් කිරීමට මඟ සකසා ගත්තේ යම් භූමියකින්ද, නූතන යුගයේ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික හා බලශක්ති අතින් ස්වයංපෝෂිත කිරීමේ මහා සංවර්ධන සංග්‍රාමයට ගාමිණි දිසානායකයන් පන්නරය ලැබුවේද එම කොත්මලේ බිමෙනි.
1977 දී ජේ. ආර්. ජයවර්ධන රජයේ ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය භාරගන්නා විට ගාමිණි දිසානායක තරුණ නායකයෙකි. වසර තිහක දීර්ඝකාලීන සැලැස්මක් වූ මහවැලි යෝජනාක්‍රමය වසර හයකින් නිම කිරීමේ අතිශය දුෂ්කර අභියෝගය ඔහු භාරගත්තේ නොසැලෙන ආත්ම විශ්වාසයෙනි.
කාර්යාල කාමරවලට සීමා නොවූ ඔහු, සති අන්තවල මහවැලි කැලෑබද ප්‍රදේශවල කූඩාරම් ගසමින්, දේශීය හා විදේශීය ඉංජිනේරුවන් සමඟ එකට බත් මුල බෙදාගනිමින් ගැටලු එම ස්ථානයේදීම විසඳීය.
1980 මුල් භාගයේ පරිගණක භාවිතය මෙරට ආගන්තුක වූ යුගයක, ජලාශවල දත්ත පද්ධති සහ ඉඩම් බෙදාහැරීම් කළමනාකරණය සඳහා මෙරට රාජ්‍ය අංශයට ප්‍රථම වරට පරිගණකගත තොරතුරු පද්ධති (MIS) හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය.
කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී තම මුතුන්මිත්තන්ගේ ගම්බිම් සහ පුරාණ විහාරස්ථාන 18ක් ජලයට යටවීමේ වේදනාකාරී පෞද්ගලික පරිත්‍යාගයට ඔහු මුහුණ දුන්නේය. එම ඓතිහාසික පරිත්‍යාගය සිහිපත් කරමින්, දුටුගැමුණු රජු කළ රුවන්වැලි සෑයට පමණක් දෙවැනි වන දැවැන්ත කොත්මලේ මහවැලි මහා සෑය ඉදිකිරීමට මූලිකත්වය ගත්තේ ඒ ගැමුණු යුගය හා නූතන යුගය එකට යා කරමිනි.
ක්‍රිකට් ක්‍රීඩාව හුදු විනෝදාංශයකින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබිය හැකි ප්‍රබල සාධකයක් බව ඔහු කලින්ම දුටුවේය. 1981 දී ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේදී (ICC) ඔහු කළ ඓතිහාසික දේශනය අදටත් ක්‍රීඩා ලෝකයේ ප්රකටය. “අපට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් නැතැයි කීම, දරුවාට දියට බසින්නට ඉඩ නොදී දරුවාට පිහිනීමට නොහැකි යැයි චෝදනා කිරීමක් බඳුය.” නීතිඥයෙකු ලෙස ඔහු ගෙනහැර දැක්වූ මෙම අතිශය තර්කානුකූල කරුණු හමුවේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සිය විරෝධතා ඉල්ලා අස්කර ගත් අතර, ශ්‍රී ලංකාවට පූර්ණ ටෙස්ට් වරම් හිමි විය. කොළඹ ආර්. ප්‍රේමදාස සහ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටි ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කරමින් මෙරට 1996 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා ගිය ගමනට අඩිතාලම දැමුවේ ඔහුගේ මේ පෙරදැක්මයි.
ගාමිණි දිසානායකයන්ගේ ජාත්‍යන්තර පිළිගැනීම කෙතරම් ශක්තිමත් වීද යත්, වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් මෙරටට ගෙන්වා ගැනීමට ඔහු සමත් විය. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර දෙරට අතර යුදමය හා දේශපාලන නොසන්සුන්තාව උච්චතම අවස්ථාවක පැවති මොහොතේ, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අතර තිරය පිටුපස නිහඬ සන්නිවේදන පාලම වූයේ ඔහුය.

එමෙන්ම, වතුකරයේ දහස් ගණනක් වූ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමේ ඓතිහාසික පනත සම්මත කරගැනීමේදී සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාට කැබිනට් මණ්ඩලය තුළින් නොබියව පූර්ණ ශක්තිය දුන්නේ ඔහුය. සිංහල බෞද්ධ නායකයෙකු වුවද, කිසිදු විටෙක පටු ජාතිවාදය තම ඡන්ද පදනම කර නොගත් ඔහු, සියලු ජාතීන් එකට ගෙනයන පුළුල් ජාතික සංහිඳියාවක නිරත විය.
බලයට සහ පදවිවලට කෑදර දේශපාලන සංස්කෘතියක් තුළ, ප්‍රතිපත්ති වෙනුවෙන් තනතුරු අතහැරීමට තරම් ඔහු නිර්භීත විය. ආර්. ප්‍රේමදාස පාලන සමයේ ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාමාර්ග හමුවේ කැබිනට් ඇමැතිකම් අතහැර ලලිත් ඇතුලත්මුදලි මහතා සමඟ එක්ව ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ (DUNF – රාජාලියා පක්ෂය) බිහිකිරීමෙන් ඔහු පෙන්වා දුන්නේ පක්ෂයට හෝ බලයට වඩා ප්රජාතන්ත්රවාදී මූලධර්ම උතුම් බවයි.
අද අපේ රට ආර්ථික හා සමාජීය වශයෙන් නව මාවතක් සොයන මොහොතක, ගාමිණි දිසානායක චරිතයෙන් උගත හැකි පාඩම් අතිමහත්ය, සැලසුම් කඩදාසිවලට සීමා නොකර වේගවත්ව බිම් මට්ටමේ ප්‍රතිඵල බවට පත්කිරීම. ඉංජිනේරුවන්, විද්‍යාඥයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික උපදෙස් මත පදනම්ව තීන්දු ගැනීම. රටේ ස්වෛරීභාවය රැකගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායී ලෙස ගනුදෙනු කිරීම. පටු වාර්ගික හෝ පක්ෂ දේශපාලනයෙන් මිදී සමස්ත දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීම. ඒ අතර ප්රමුඛ වේ.
කොත්මලේ කඳු මුදුනේ නැඟී සිටින මහවැලි මහා සෑය දෙසත්, රන්දෙණිගල, වික්ටෝරියා මහා ජල කඳ දෙසත් බලන ඕනෑම අයෙකුට පසක් වන්නේ එක් සත්‍යයකි. තොටළඟ බෝම්බයෙන් එදා දැයට අහිමි වූයේ තවත් එක් දේශපාලනඥයෙකු පමණක් නොව, මෙරට ඉරණම වෙනස් කළ හැකිව තිබූ අද්විතීය දැක්මක් සහිත නායකයෙකි. වසර තිස්දෙකක් සපිරෙන අද දවසේ, ඔහු විසින් දේශයට දායාද කළ නොමැකෙන සංවර්ධන උරුමය දෙස බලමින් එවන් නායකත්වයක වටිනාකම වෙන කවරදාකටත් වඩා අද අපට තදින්ම දැනෙයි.

