විසූකදස්සන

ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු බව  සහතික කොට තිබේ. 1815 දී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ශ්‍රී ලංකාව තෑගි ඔප්පුවකින් පරිත්‍යාග කරන අවස්ථාවේ රදළනායකයින් සහ මහානායක හිමිවරුන් කරනු ලැබූ ඉල්ලීමට අනුව උඩරට ගිවිසුමට මෙම වගන්තිය ඇතුලත් කර තිබිණ.

1948 ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 1972 ජනරජ ව්‍යවස්ථාවේද ,1978 ව්‍යවස්ථාවේ ද, එම වගන්තිය එසේම සටහන්ව තිබේ. නමුත්  නිදහසින් පසු ලංකාවේ පැවති ආණ්ඩු  බෞද්ධාගම සහ සංඝරත්නය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද භාවිතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන ව්‍යවස්ථාවට ඉඳුරාම පටහැනිය. මෑත කාලයේ අපට දකින්නට ලැබුණේ   සෑම ආණ්ඩුවක්ම ආගම දේශපාලනික සංස්ථාවක් ලෙස තමන් රිසි පරිදි උපයෝගී කරගන්නා අන්දමය. බුදු දහමට සහ මහා සංඝයා වහන්සේට විරුද්ධව ක්‍රියා කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය ඔවුන් තුට්ටුවකට මායිම් කළේ නැත. ඊට

අදාල උදාහරණ කීපයක් මෙසේය.

1980 ඔක්තෝබර් 16 වනදා එජාප ආණ්ඩුව විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය ලබුදූවේ සිරිධම්ම හිමියන් සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට  විරුද්ධ මතයක සිට කටයුතු කළේය. ඒ කෙරෙහි උරණ වූ  ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහනුවර ගැටඹේ රාජෝපවනාරාමය දෙකඩ වනසේ කටුකම්බි ගසා කොටසක් හමුදාවට භාර දුන්නේය.

1987 මැයි පළමුවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේදී නරාහේන්පිට අභයාරාමයට වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු මරා දැමුවේය.

මාදුළුවාවේ සෝභිත හිමි සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරුන්ගේ මූලිකත්වයෙන් ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින්  1987 ජූලි 28 දින පිට කොටුව බෝධිය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයට වෙඩි තැබූ එජාප ආණ්ඩුව  සත්‍යග්‍රහකරුවන් පිරිසක් මරා විශාල පිරිසකට තුවාල කළේය.

එදිනම තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ පැවති සත්‍යග්‍රහයට හෙලිකොප්ටර් යානයකින් පැමිණි  ගුවන් හමුදාව වෙඩි තැබූ අතර සියයකට ආසන්න පිරිසක් මරණයට පත්විය.

මල්වට්ටි රැගෙන පන්සලක්, පන්සලක් ගානේ ගිය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලනය යටතේ 1989 දී භික්ෂූන් වහන්සේලා 600 කට වැඩි පිරිසක් ඝාතනය කොට රටම අමු සොහොනක් කළේය.

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා 2010 පෙබරවාරි 8 දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.  ඊට  විරුද්ධව රට තුළ ප්‍රබල විරෝධයක් පැන නැගුණි. මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පෙබරවාරි 18 දා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ විශේෂ සංඝ සම්මේලනයක්

පවත්වා ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මල්වතු සංඝ සභාව තීරණය කර තිබුණි.

වහාම මහනුවරට ගොස් සංඟ සම්මේලනය පැවැත්වීම වළක්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මර්වින් සිල්වාට උපදෙස් දුන්නේය.  නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා ප්‍රමුඛ මැර කණ්ඩායමක් මහනුවරට ගොස්  මහනායක හිමිවරුන් හමුවී සම්මේලනය  පැවැත්වීමට ජනාධිපතිවරයා විරුද්ධ බැවින් ඊට ඉඩ දිය නොහැකි බව පවසා තර්ජනය කළේය. 

සම්මේලනයට සහ සම්මේලනය සඳහා භික්ෂූන් වහන්සේ රැගෙන එන බස් රථවලට බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කළ බිය ගැන්වීම නිසාම  සම්මේලනය නොපැවැත්වීමට මහා නායක හිමිවරු තීරණය කළහ.

මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් දැක්වූ බලවත් විරෝධය නොතකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්තු ශ්‍රී දළදා මාලිගාව වටා කාර් රේස් පැද්ද බව හා එදින දළදා මාලිගාව ඉදිරිපිට විශේෂ පීඨිකාවක නළඟනන් අඩ නිරුවත් රංගන ඉදිරිපත් කළ බවත් නොදන්නා කිසිවකු නැත. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මුනිවත රැකි පිරිස් අද අමුතු කලබලයක් මතු කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ආණ්ඩු බුදු දහමට සැලකූ ආකාරයත් ජාතික ජන බලවේග ආණ්ඩුව බෞද්ධාගමට සහ භික්ෂු සංස්ථාවට ගරු කරන ආකාරයත් සාධාරණව මැන බැලීමට අවස්ථාවක් එළඹී තිබේ. ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්  අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණය දෙනු ලැබූ තීන්දුවට විරෝධය පළ කරමින්

භික්ෂූන් වහන්සේ කිහිප නමක් පසුගියදා මහනුවර සිට කොළඹට පා ගමනින් වැඩම කළේය.

ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, බලයේ සිටියා නම් අධිකරණ තීරණය අභියෝගයට ලක් කරන මෙවැනි පා ගමනකට පේරාදෙනිය පසු කරන්නට කිසිසේත් ඉඩ නොලැබෙනු ඇත.

එහෙත් වර්තමාන ආණ්ඩුව හෝ ආණ්ඩුවට සහාය පළ කළ කිසිවෙකු හෝ පා ගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලාට කිසිදු ප්‍රතිරෝධයක් දැක්වූයේ නැත. ඒ ජනාධිපති අනුර දිසානායක බෞද්ධ ශාසනය සහ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතය.   අධිකරණයේ තීන්දුවට පිටින් තමා කිසිදු තීන්දුවක්  නොගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදී අතිශය පහත් අවලාද වලින් ජනපතිට බැන වදිමින් හා නිර්දය ක්‍රියාකාරකම්වල යෙදෙමින් විහාර මහා දේවී උද්‍යානයේ දිවා රාත්‍රී රැඳී සිටිමින්  විරෝධය පෑමට එම පිරිස් වලට කිසිදු බාධාවක් නොවුනි.

පොදු ස්ථානයක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමට ඉඩ දිය නොහැකි  බැව් ඕනෑම අයෙකු තේරුම් ගත යුතුය.

කොළඹ නගරයේ පොදු ස්ථාන වෙන් කර තිබෙන්නේ නගරයේ වරිපනම් ගෙවන ජනතාවට සහ නගරයට පැමිණෙන මහජනයාට ගිමන් නිවා සැනසිල්ල ලබා ගනු පිණිසය. මහසොන් සමයම රඟ දැක්වීමට නම් විහාර මහා දේවී එළි මහන් රංග පීඨය මුදල් ගෙවා වෙන් කරගත යුතුය. ආණ්ඩුවක් ඇතුලේ තවත් ආණ්ඩු තිබිය නොහැක.

 විපක්ෂය බෞද්ධ ජනතාව නොමග යවමින් සිටින්නේ කිසිදු සහේතුක කරුණක් පාදක කරගෙන නොවේ. අතලොස්සක් පිරිස හැරුණු විට ගෞරවනීය මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් විපක්ෂය මෙහෙයවන චීවරධාරීන්ගේ කුමන්ත්‍රණකාරී දේශපාලන වැඩපිළිවෙළ තේරුම් ගෙන සිටිති. ඊනියා රැල්ලට හසු නොවී බුද්ධ දර්ශනය පිටු දකිමින් මිත්‍යාව මතුකරමින් සදාචාරවත් සමාජයට විසූක දස්සන පෙන්වමින් අතලොස්සක් කරගෙන යන  ශාසන විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාව  ජනතාව  පිටු දැකිය යුතුය. කෑවෝ කෑවෝ කියමින් උඩ පැන්නාට කාපු සතෙක් හෝ කාපු තැනක් නැත.

| උදේනි සමන් කුමාර

Leave A Comment