සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ ජාතික සූදානම ශක්තිමත් කිරීමේ විශ්වීය සමාලෝචන සැසිවාරය ශ්‍රී ලංකාවේදී ආරම්භ වෙයි

වසංගත, ස්වභාවික ආපදා සහ වෙනත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ජන ජීවිත සුරක්ෂිත කරමින් අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන Universal Health and Preparedness Review (UHPR) හෙවත් සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය (22) කොළඹ, සිනමන් ලයිෆ් ඇට් සිටි ඔෆ් ඩ්‍රීම්ස් (Cinnamon Life at City of Dreams) හෝටල් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම ජාත්‍යන්තර සැසිවාරය (22 සහ 23) දෙදින පුරා පැවැත්වේ.

මෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වසංගත, ස්වභාවික ආපදා සහ වෙනත් හදිසි තත්ත්වයන් ඕනෑම රටකට මුහුණදීමට සිදුවිය හැකි අභියෝගවන බැවින්, ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා පූර්ව සූදානම ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පැවසීය. එවැනි අවස්ථාවන්හිදී සෑම පුරවැසියකුගේම ජීවිතය ආරක්ෂා කිරීමත්, ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම උපරිමයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමත් රජයක් සතු වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අර්බුදයක් ඇති වූ පසු ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, අර්බුදයකට පෙර සිටම ඊට මුහුණදීමේ හැකියාව ගොඩනඟා ගැනීම කාලීන අවශ්‍යතාවක් බව අවධාරණය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම හා මඟපෙන්වීම යටතේ රටවල සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම සමාලෝචනය කරමින් එම හැකියාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ ද මෙම අවශ්‍යතාව පදනම් කරගෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2025 වර්ෂයේ  මැයි මාසයේදී ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී මේ සදහා ඉල්ලීම ලැබුණු බව සිහිපත්කළ අමාත්‍යවරයා මීට පෙර තායිලන්තයේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන (UHPR) ක්‍රියාවලියෙන් ලබාගත් අත්දැකීම් ද ශ්‍රී ලංකාවේ මෙම සැසිවාරය සාර්ථක කරගැනීම සඳහා වැදගත්වන බව  පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති (UHPR) සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන යාන්ත්‍රණය යනු රටවල් සහභාගීවන, විනිවිදභාවය සහ අන්‍යෝන්‍ය සමාලෝචනය මත පදනම් වූ ජාත්‍යන්තර වැඩපිළිවෙළකි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, මෙරට ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්බාජිරාඕ පාණ්ඩව්(Dr. Rajesh Sambhajirao Pandav), යන මහත්වරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය ආයතන නියෝජිතයන්, විද්වතුන් සහ අදාළ පාර්ශ්වයන් රැසක් එක්ව සිටියහ.

 

 

Leave A Comment