මේ ශ්රී ලාංකේය සංඝ සංස්ථාව එක්සත් විය යුතු කාලය යි – වටගොඩ මග්ගවිහාරී හිමියෝ කියති
ශ්රී ලාංකේය සංඝ සංස්ථාව මුහුණ දී සිටින වත්මන් ශාසනික අර්බුදයන්ට ස්ථිරසාර විසඳුමක් නැති ද? සියලු නිකාය සහ පාර්ශ්වයන්ගේ ස්වාධීනත්වය සහ අනන්යතාවය ආරක්ෂා කර ගනිමින් සමස්ත ශ්රී ලාංකේය සංඝයා එක්සත් කළ නොහැකි ද? මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලබන්නේ ඒ සඳහා ඉදිරිපත් කෙරෙන ව්යුහාත්මක විසඳුමක් පිළිබඳව යි. එම විසඳුමේ ප්රධාන ආයතනික ස්ථම්භ තුන වන උත්තරීතර සංඝ සභාව, සංඝභාර නිත්ථාරක සභාව සහ සංඝාධිකරණ යන ආයතනවල ව්යුහය සහ කාර්යභාරය පිළිබඳ මූලික හැඳින්වීමක් මෙහි දී ඉදිරිපත් කෙරේ.
සංඝයාගේ පෞඪත්වය
බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක පුත්ර භාවයට පැමිණි, රාජ මහාමාත්යයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබීමට නිසි සුප්රතිපන්න මහා සංඝරත්නය සමස්ත ලෝකයාට ම ආශීර්වාදයකි. තමන්ට හානි නොකර ගනිමින් අන්යයන්ට ද හානි නොකරන “නේවත්තන්තප-නපරන්තප” භික්ෂුව කායිකව සහ වාචසිකව පමණක් නොව මානසිකව ද අන්යයන්ට යහපත සැලසීමට නැඹුරු වූ අයෙකි. ත්රිවිධ ද්වාරයෙන් ම භේදයකින් තොරව සියලු සත්ත්වයන්ට කල්යාණ මිත්රත්වයෙන් උපකාර කිරීමට යොමු වූ භික්ෂුව නිසා සමාජය තුළ වෛරයේ ගිනි දැල් නිවෙන අතර නානා ජාතීන් අතර සමගියේ සිසිලස වර්ධනය වේ; මුළු මහත් සමාජයක් ම සුවපත් වේ.
ථේරවාද අටුවාවල දක්වා ඇති පරිදි අතීත ශ්රී ලංකාව සමස්තයක් ලෙස ගත් කල විෂමාචාරයන්ගෙන් අඩු යහපත් සමාජ සංස්ථාවක් වූ අතර ඒ සඳහා මූලික අඩිතාලම යොදන ලද්දේ ශ්රී ලාංකේය භික්ෂූන් වහන්සේලා විසිනි. මහින්දාගමනයෙන් පසු ශ්රී ලංකාව තුළ බුදු දහම ශීඝ්රයෙන් පැතිර යන විට ගිහි සම්පත් අතහැර පැවිදි වූ කුලපුත්රයෝ තම ශ්රමණ කෘත්ය මනා කොට ඉෂ්ට කරමින්, තමන්ට සිව්පසයෙන් උපකාර අනුග්රහ කළ දායක කාරකාදීන්ගෙන් සමන්විත ශ්රී ලාංකේය සමාජය සුවපත් කළහ.
වත්මන් ශාසන අර්බුදය
දූරාතීතයේ පටන් ශ්රී ලාංකේය භික්ෂුව සමාජය සුවපත් කිරීමේ උදාර කර්තව්යය අද දක්වා ම අඛණ්ඩව සිදු කරගෙන පැමිණි නමුත් රටේ අවාසනාවකට මෑත භාගයේ දී ලාංකේය සමාජය සැනසූ සංඝ සංස්ථාව තුළ ම විශාල බිඳවැටීම් ගණනාවක් දිස්වේ. තරුණ භික්ෂූන් වහන්සේලාගෙන් සැලකිය යුතු ප්රමාණයක් ආධ්යාත්මයෙන් පිරිහීමේ ලක්ෂණ පෙන්නුම් කරති. අන්තර්ජාලය ඔස්සේ නිවැරදිව ධර්මය ප්රචාරය කරන භික්ෂූන් වහන්සේලා අතළොස්ස, විශ්වවිද්යාල මට්ටමින් ශාස්ත්රීය ධර්ම අධ්යයනයක යෙදී සිටින භික්ෂූන් වහන්සේලා පිරිස සහ ධර්මය විනය හැදෑරීමට කැපවුණු තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් හැරුණු කොට, සමස්තයක් ලෙස භික්ෂූන් වහන්සේලා ගැඹුරින් ධර්මය සහ විනය අධ්යයනය කිරීමෙන් ඈත් වන බව සබුද්ධික සැමට ප්රකට කරුණකි. එහි ප්රතිඵලයක් ලෙස අතීතයේ පටන් මීට දශක කිහිපයකට පෙර කාලය දක්වා ලාංකේය සමාජය තුළ විරාජමාන වෙමින් සමාජය නිසි මඟට ගෙන ඒමට උර දුන් ධර්ම ශාස්ත්රීය ඥානයෙන් පිරිපුන් ව්යක්ත, ප්රතිබල භික්ෂූන් වහන්සේලාගේ රික්තකයක් විද්යමාන වේ. ගුරු ශිෂ්ය සම්බන්ධතාව තුළ තථාගතයන් වහන්සේ අපේක්ෂා කළ අංගයන් බිඳවැටීම හේතු කරගෙන නිශ්රයමුක්තක ගුණාංගයන්ගෙන් හෙබි භික්ෂුව නිර්මාණය කරන මූලික භික්ෂු පුහුණු වැඩසටහන් අතිශය දුර්ලභ වී ඇත. මූලික පිරිවෙන්වලින් ද ශාසනික අවශ්යතාවයන් නිසි ලෙස සම්පූර්ණ වන බවක් නොපෙනේ.
සංඝ සංස්ථාවේ යාන්ත්රණය තුළ යථෝක්ත බිඳවැටීම් හේතු කරගෙන බරපතළ අර්බුද කිහිපයක් පැන නැඟී ඇත. ථේරවාදයට හාත්පසින් පටහැනි ධර්මය දේශනා කරන, රචනා කරන සහ ප්රචාරය කරන භික්ෂූන් වහන්සේලාගේ ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතියි. ආධ්යාත්මය පිරිහීම සහ මූලික භික්ෂු පුහුණුවේ අඩුපාඩු හේතු කරගෙන ශ්රමණත්වයට කිසිසේත් නොගැළපෙන ක්රියාකාරකම්වල භික්ෂූන් වහන්සේලා හිරි ඔත්තප්ප නොමැතිව ප්රසිද්ධියේ යෙදීම ශ්රද්ධාවන්ත බෞද්ධයන්ගේ සිත් සතන් කම්පා කරවන්නකි. “පුනර්භවයක් නොමැත, පින් පව් නොමැත” යනාදි ලෙසට කවර කෝණයකින් විමසුව ද මූලික බුදු සමයට සම්පූර්ණයෙන් පටහැනි ප්රකාශ බුද්ධ චීවරය දරාගෙන ම ප්රසිද්ධියේ කරන භික්ෂූන් වහන්සේලා බිහි වීම හේතු කරගෙන බුදු දහම පිළිබඳ සම්පූර්ණයෙන් වැරදි අවබෝධයක් ඇති කරගන්නා තරුණ පිරිස් දිනෙන් දින වැඩි වෙමින් පවතියි. “සංඝයා තවදුරටත් සමාජයට ප්රයෝජනවත් ද?” යන ප්රශ්නය අසන ගිහි බෞද්ධයන්ගේ සංඛ්යාව ද ඉහළ යයි. නිවන් මඟ සොයා යාමට අවංකව උත්සාහ කරන උපාසක උපාසිකාවන්ට පවා නිවැරදි ධර්මය වැරදි ධර්මයෙන් වෙන් කොට හඳුනා ගැනීම අතිශය දුෂ්කර වී ඇත. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංඛ්යා ලේඛන අනුව වසරකට සිවුරු හැර යන භික්ෂූන්ගේ සංඛ්යාව ශෝචනීය ලෙස ඉහළ යමින් පවතියි.
මෙම අවාසනාවන්ත සන්දර්භය තුළ ශ්රී ලාංකේය බුද්ධ ශාසනයේ අනන්යතාව දරුණු අනතුරකට පත්ව ඇති අතර අර්බුදය දිනෙන් දින උත්සන්න වන බවක් මිස විසඳෙන බවක අරුණලු වත් පෙනෙන තෙක් මානයක නැත. ශාසනික අර්බුද සඳහා ස්ථිර පිළියම් යෙදීමට කලින් කල ගත් සියලු උත්සාහයන් පාහේ නීතිමය හෝ වෙනත් ප්රායෝගික දුෂ්කරතා හේතුවෙන් අසාර්ථක වූ බව ද පැහැදිලි ය.
ශාසන අර්බුදයට විසඳුම – සංඝයා එක්සත් වීම
ශ්රී ලාංකේය සංඝ සංස්ථාව තුළ පවතින දැවෙන අර්බුදයන්ට ස්ථිරසාර පිළියම් ලබා දිය හැක්කේ ශ්රී ලංකාව තුළ පවතින සියලු භික්ෂු නිකාය සහ පාර්ශ්ව පොදු ශාසනික රාමුවක් තුළ එකමුතු වී කටයුතු කරන විට පමණි. එම ශාසනික රාමුව නිකාය සහ පාර්ශ්වයන්ගේ අනන්යතාව ආරක්ෂා කර ගනිමින් තථාගතයන් වහන්සේගේ ධර්මය, විනය සහ එක්සත් වූ සංඝයා විසින් සම්මත කර ගනු ලබන පොදු කතිකාවත් මත පදනම් වූවක් විය යුතුය.
ඉහතින් සඳහන් කරන ලද බරපතළ ශාසනික අර්බුදයන්ට ස්ථිරසාර පිළියම් යෙදීමට ඇති ප්රධානතම බාධකය නම් ශ්රී ලංකාව තුළ පවතින භික්ෂු නිකාය සහ පාර්ශ්ව එකම ශාසනික රාමුවක් තුළ කටයුතු නොකිරීම යි. එකිනෙකට ස්වාධීන වූ පාර්ශ්ව තිස් එකක් නිකාය තුනක් යටතේ සංග්රහ වී ඇති සන්දර්භයක, පූර්වයෙන් ඇති කරගත් පොදු එකඟතාවකින් තොරව එක්සත්ව කටයුතු කිරීම අපේක්ෂා කළ නොහැක. එබැවින් ශ්රී ලාංකේය සංඝ සංස්ථාව එක්සත් කිරීමේ භාරදූර කර්තව්යය ආරම්භ කිරීමට කාලය දැන් එළඹ ඇත.
සංඝයාගේ සමගිය හෙවත් එකම ධර්ම විනය රාමුවක් තුළ සමසීල, සමදෘෂ්ටීන්ගෙන් යුතුව කටයුතු කිරීම මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේ පවා සුවයට හේතු වන උතුම් කරුණකි. තථාගතයන් වහන්සේ ධම්මපදයේ දී “සුඛා සංඝස්ස සාමග්ගී” යනුවෙන් දේශනා කරන්නට යෙදුණේ මේ නිසා ය. සංඝයාගේ සාමග්රිය මිනිසුන්ගේ සිත් සතන් සනසවන්නක් මෙන් ම තථාගත ශ්රී සද්ධර්මය චිරාත් කාලයක් ලොව විරාජමානව බැබළීමට ද හේතු වන මංගල කරුණකි.
ශාසනික අර්බුදයන් විසඳීම සඳහා “ශ්රී ලංකා සාමග්ගී මහා සංඝ සභා යෝජක මණ්ඩලය” විසින් යෝජනා කරනු ලබන සංඝ සාමග්රිය වනාහි නිකාය සහ පාර්ශ්ව ඒකීය කොට එක් නිකායක් හෝ පාර්ශ්වයක් බිහි කිරීමක් නොව, ඒ ඒ නිකාය සහ පාර්ශ්වයන්ගේ අනන්යතාවන් එලෙස ම පවත්වා ගනිමින් සියලු නිකාය සහ පාර්ශ්ව විසින් පිළිගනු ලබන තථාගත ධර්මය, විනය සහ පොදු සංඝ කතිකාවත් අරභයා එක්සත්ව කටයුතු කිරීමකි. මෙය සංඝ සංස්ථාව ඒකීය කිරීමක් නොව එක්සත් කිරීමකි.
භික්ෂුණී හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධ නඩු විභාගයේ දී ගරු ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවෙන් ද ශ්රී ලංකාව තුළ පවතින නිකාය සහ පාර්ශ්වයන්ගේ ස්වාධීනත්වය සහ ඒ ඒ නිකාය සහ පාර්ශ්වයන්හි මහානායක ස්ථවිරයන් වහන්සේලා සතු ශාසනික තීරණ ගැනීමේ බලතල පිළිබඳ වැදගත් කරුණු ඉස්මතු වේ. එක් නිකායක හෝ පාර්ශ්වයක මහානායක ස්ථවිරයන් වහන්සේ නමක් යම් ශාසනික කරුණක් සම්බන්ධයෙන් ගනු ලබන තීරණයකට අනෙකුත් නිකාය සහ පාර්ශ්වවල මහානායක ස්ථවිරයන් වහන්සේලා එකඟ නොවන අවස්ථාවක දී පවා, සියලු නිකාය සහ පාර්ශ්ව විසින් පිළිගත් පොදු ශාසනික රාමුවක් නොමැති නම් එම මතභේදය නිරාකරණය කර ගැනීම සඳහා සාමූහිකව ක්රියාත්මක විය හැකි යාන්ත්රණයක් නොමැති වීම බරපතළ ගැටලුවකි.
අනාගතයේ දී ද ධර්මය සහ විනය අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් විවිධ නිකාය සහ පාර්ශ්ව අතර මතභේද ඇති විය හැකිය. එබඳු අවස්ථාවල දී සියලු මහානායක ස්ථවිරයන් වහන්සේලාට සහ ඒ ඒ නිකාය පාර්ශ්වවල ව්යක්ත ප්රතිබල භික්ෂූන්ට එක්සත්ව සාකච්ඡා කොට පොදු එකඟතාවකට පැමිණීමට හැකි ශාසනික යාන්ත්රණයක් පැවතීම අතිශය වැදගත් ය. භික්ෂුණී ශාසනය සම්බන්ධයෙන් ඇති වූ මතභේද ද එබඳු පොදු යාන්ත්රණයක අවශ්යතාව අවධාරණය කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව ශ්රී ලංකාව තුළ එකිනෙකට ස්වාධීන නිකාය සහ පාර්ශ්ව තිස් එකක් පවතිනවා පමණක් නොව, පොදු එකඟතාවකින් තොරව ශාසනික කරුණු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් තීන්දු තීරණ ගැනීමට හැකි ස්වාධීන ශාසනික අධිකාරීන් තිස් එකක් ද පවතියි. මෙය ශ්රී ලාංකේය බුද්ධ ශාසනයේ ඒකාබද්ධ ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ ප්රායෝගික ගැටලුවකි.
මේ සන්දර්භය කොතරම් ශෝචනීය ද? මෙයට පිළියමක් නැති ද? එයට ඇති ඒකායන පිළියම නම් ශ්රී ලංකාව තුළ පවතින සියලු භික්ෂු නිකාය සහ පාර්ශ්ව එක්සත් කරමින් “උත්තරීතර සංඝ සභාව” පිහිටුවා ඒ අනුව ශාසනික කටයුතු විධිමත් කර ගැනීම යි.
ශ්රී ලංකා උත්තරීතර සංඝ සභාව
වර්තමානයේ පැන නැඟී ඇති සහ අනාගතයේ පැන නැඟිය හැකි බරපතළ ශාසනික අර්බුදයන්ට ස්ථිරසාර ලෙස පිළියම් යෙදීම සඳහා ශ්රී ලාංකේය සංඝ සංස්ථාව එක්සත් කරමින් ධර්ම විනය සහ පොදු කතිකාවත් පදනම් කරගත් “උත්තරීතර සංඝ සභාවක්” පිහිටුවා ගැනීම යුගයේ ප්රබලතම ශාසනික අවශ්යතාවය යි.
පරිනිර්වාණයට පෙර තථාගතයන් වහන්සේ විසින් සංඝයාට පවරන ලද භාරදූර කර්තව්යයන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා එදා කුසිනාරා නුවර රැස් වූ ලක්ෂ සංඛ්යාත භික්ෂූන් වහන්සේලා අතුරින් පටිසම්භිදාප්රාප්ත ත්රිපිටකධාරී මහා රහතන් වහන්සේලා හාරසිය අනූනව නමක් සහ ධර්මභාණ්ඩාගාරික ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ ඇතුළු පන්සිය නමක් වූ භික්ෂූන් වහන්සේලා මහා කාශ්යප මහරහතන් වහන්සේ විසින් සංඝයාගේ අනුමැතියෙන් තෝරා ගනු ලැබූහ. අනතුරුව එම තෙරුන් වහන්සේලා රජගහ නුවර සප්තපර්ණී ගුහාවෙහි රැස් වී සකල ශාසනයට ම බලපවත්වන තීන්දු තීරණ ගත්හ.
අනතුරුව කලින් කලට ශාසනය තුළ අර්බුදයන් පැන නැඟුණු විට ව්යක්ත, විශාරද මහා තෙරුන් වහන්සේලා පන්සියයකට වැඩි ගණනින් රැස් වී සකල ශාසනයට ම බලපවත්වන තීන්දු තීරණ ගනිමින් ශාසනික අර්බුදයන්ට පිළියම් යෙදූහ. පුරාණ සංඝ පීතෘන් වහන්සේලා ගත් මඟ ගනිමින් වර්තමානයේ ද ශ්රී ලංකාව තුළ සංඝයා එක්සත් වීම තුළින් පොදු ශාසනික ගැටලුවලට පිළියම් සෙවීමට හැකියාව ඇත.
පුරාණ තෙරුන් වහන්සේලාගේ ආදර්ශය අනුව යමින් පිහිටුවීමට යෝජනා කරනු ලබන “උත්තරීතර සංඝ සභාව” සියලු මහානායක ස්ථවිරයන් වහන්සේලා, අනුනායක ස්ථවිරයන් වහන්සේලා සහ ලේඛකාධිකාරී ස්ථවිරයන් වහන්සේලා ඇතුළු ව්යක්ත, ප්රතිබල භික්ෂූන් වහන්සේලා හයසිය නමකින් සමන්විත වේ. මෙම සභාව විසින් තථාගත ධර්මය සහ විනය නිර්වචනය කිරීම සහ ශ්රී ලාංකේය සංඝයාට බලපවත්වන පොදු කතිකාවත් සම්මත කර ගැනීම සිදු කරනු ලබන අතර ශ්රී ලාංකේය සංඝ සංස්ථාව තුළ පර්යාප්ති සහ ප්රතිපත්ති ශාසනයන්හි ඒකමතිකත්වයක් පවත්වා ගැනීම මෙම සභාවේ මූලික අරමුණ යි.
ශ්රී ලංකාව තුළ භික්ෂූන් වහන්සේලා අතර පර්යාප්ති සහ ප්රතිපත්ති ශාසන නඟා සිටුවීම සඳහා උත්තරීතර සංඝ සභාව විසින් “සංඝභාර නිත්ථාරක සභාව” පිහිටුවිය යුතුය.
සංඝභාර නිත්ථාරක සභාව
තථාගත ධර්මය, විනය සහ පොදු සංඝ කතිකාවත් යටතේ එක්සත්ව තීන්දු තීරණ ගත් පමණින් ශාසනය තුළ පවතින අර්බුදයන්ට පිළියම් නොලැබේ. ඒ සඳහා එම තීන්දු තීරණ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන යාන්ත්රණයක් පිහිටුවා ගැනීම අත්යවශ්ය ය. භික්ෂූන් වහන්සේලාගේ ආධ්යාත්මික දියුණුව, අධ්යාපනය, පරිපාලනමය සහ නායකත්ව කුශලතා, ප්රසිද්ධ ධර්ම දේශනා සහ ග්රන්ථ ප්රකාශන සම්බන්ධ නියාමන ක්රියාවලි, ධර්ම සංරක්ෂණ වැඩසටහන් යනාදිය දියුණු කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු අතර ඒ සඳහා උත්තරීතර සංඝ සභාව යටතේ “සංඝභාර නිත්ථාරක සභාව” පිහිටුවිය යුතුය.
උත්තරීතර මහානායක මණ්ඩලය විසින් වර්ෂ හතරක් සඳහා පත් කරනු ලබන අනුනායක ස්ථවිරයන් වහන්සේ නමකගේ නායකත්වයෙන් ක්රියාත්මක වන මෙම සභාව පර්යාප්ති ප්රතිපත්ති ශාසන මණ්ඩලය, ගිලානෝපස්ථාන මණ්ඩලය, ශාසන ලේඛන සහ ග්රන්ථ මණ්ඩලය, විහාර සංවර්ධන මණ්ඩලය, ශාසන අරමුදල් මණ්ඩලය, ධර්මදූත සහ ශාසන සම්බන්ධතා මණ්ඩලය, සාමණේර සුභසාධන සහ ආරක්ෂණ මණ්ඩලය, සීලමාතා සුභසාධන සහ ආරක්ෂණ මණ්ඩලය, විනය කාරක කමිටුව වැනි මණ්ඩල සහ කමිටුවලින් සමන්විත වේ.
සංඝභාර නිත්ථාරක සභාව විසින් භික්ෂූන් වහන්සේලාගේ ආධ්යාත්මික දියුණුව සඳහා අවශ්ය වැඩසටහන් ක්රියාත්මක කිරීම, පිරිවෙන් අධ්යාපනය නඟා සිටුවීම, නිස්සයමුත්තක ආදි ශාසනික උපාධි ලබා දිය හැකි උසස් පිරිවෙන් පිහිටුවීම, බෞද්ධ නීති විද්යාලයක් පිහිටුවීම තුළින් සිවිල් අධිකරණයන් විසින් පවා ගරු කළ හැකි ශාසනික තීන්දු තීරණ ලබා දීමට සමත් විනිශ්චයකාර ස්ථවිරයන් වහන්සේලා බිහි කිරීම, සංඝභාර කළමනාකරණ විද්යාලයක් පිහිටුවීම තුළින් වෙනස් වන සමාජයට ගැළපෙන ආකාරයෙන් නායකත්ව ලක්ෂණ දරමින් පරිසර හිතකාමී, ආකර්ෂණීය විහාරස්ථාන පවත්වාගෙන යාමට සමත්, ජන විඥානය හඳුනන ප්රතිබල භික්ෂූන් වහන්සේලා බිහි කිරීම, දමිළ බෞද්ධ පීඨයක් පිහිටුවීම, ශාසන ග්රන්ථ සංරක්ෂණ මණ්ඩලයක් පිහිටුවීම වැනි ශාසනයට අතිශය වැඩදායී කර්තව්යයන් සිදු කිරීම තුළින් ශාසනික අර්බුදයන්හි මූලයන්ට දීර්ඝකාලීන පිළියම් ලබා දීම අපේක්ෂා කරනු ලැබේ.
වර්තමානයේ පවතින ශාසනික අර්බුදයන්ට කෙටිකාලීන පිළියම් වශයෙන් පැලැස්තර ඇලවීමෙන් ශ්රී ලාංකේය සංඝ සංස්ථාවේ චිර පැවැත්ම අපේක්ෂා කළ නොහැක. ඒ සඳහා විශේෂයෙන් නවක භික්ෂූන් වහන්සේලාට ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුක්ත පුහුණුවක් ලබා දෙමින් ඔවුන් ධර්මයෙන්, විනයෙන් සහ ආධ්යාත්මික ගුණයන්ගෙන් පෝෂණය කරන යාන්ත්රණ සකස් කළ යුතුය. මතු භික්ෂු පරපුරේ ශාස්ත්රීය සහ ආධ්යාත්මික ගුණාත්මක බව මත ම ශාසනයේ අනාගතය රැඳී පවතින බව අප නිතර සිහි තබා ගත යුතු කරුණකි.
උත්තරීතර සංඝ සභාව විසින් තථාගත ධර්මය, විනය සහ පොදු සංඝ කතිකාවත් යටතේ සකල ශ්රී ලාංකේය සංඝයා එක්සත් වන අතර සංඝභාර නිත්ථාරක සභාව විසින් බුද්ධ ශාසනයේ පර්ය්යාප්ති සහ ප්රතිපත්ති ශාසනයන් නඟා සිටුවීමට අවශ්ය සියලු පියවර ගනු ලැබේ. නමුත් මෙම යාන්ත්රණය යටතේ හික්මවීමට අපහසු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා සංවර කරවා ගැනීම සඳහා සහ හික්මවීමට නොහැකි භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපීම සඳහා එක්සත් සංඝයාගේ සංඝාධිකරණ යාන්ත්රණයක් අත්යාවශ්යය.
උත්තරීතර සංඝ සභාව විසින් තථාගත ධර්මය, විනය සහ පොදු සංඝ කතිකාවත් යටතේ සකල ශ්රී ලාංකේය සංඝයා එක්සත් කරනු ලබන අතර සංඝභාර නිත්ථාරක සභාව විසින් බුද්ධ ශාසනයේ පර්ය්යාප්ති සහ ප්රතිපත්ති ශාසන නඟා සිටුවීමට අවශ්ය පියවර ගනු ලැබේ. නමුත් මෙම යාන්ත්රණයන් යටතේ පමණක් සියලු ශාසනික අර්බුදයන්ට පිළියම් යෙදිය නොහැක. විශේෂයෙන් විනය විරෝධී ක්රියාකාරකම්වල යෙදෙන භික්ෂූන් වහන්සේලා සංවර කරවා ගැනීමටත්, බරපතළ විනය විරෝධී ක්රියාකාරකම් සම්බන්ධයෙන් ධර්ම විනයානුකූලව තීන්දු තීරණ ගැනීමටත් එක්සත් සංඝයාගේ පොදු සංඝාධිකරණ යාන්ත්රණයක් අත්යවශ්ය ය.
සංඝාධිකරණ
සංඝාධිකරණ හැම විට ම තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අධිකරණ සමථයන්, ධර්ම විනය සහ මූලික නීති මූලධර්ම නොඉක්මවන ආයතන විය යුතුය. බෞද්ධ නීති විද්යාලයෙන් අධ්යාපනය ලබා සුදුසුකම් ලත් විනිශ්චයකාර ස්ථවිරයන් වහන්සේලාගෙන් සමන්විත සංඝාධිකරණ මඟින් විනය විරෝධී ක්රියාකාරකම්වල යෙදෙන භික්ෂූන් වහන්සේලා නිසි මඟට ගැනීම අපේක්ෂා කළ හැකිය.
ඒ ඒ නිකාය සහ පාර්ශ්වවල අභ්යන්තර විනයාධිකරණයන්ට අයත් කරුණු ඒ ඒ නිකාය සහ පාර්ශ්වයන් තුළ ම විසඳා ගත යුතුය. එම ක්රියාවලීන්ට අභිනවයෙන් පිහිටුවනු ලබන සංඝාධිකරණයන් විසින් බලපෑම් නොකරනු ලැබේ. එසේ වුව ද එකිනෙකට වෙනස් නිකාය සහ පාර්ශ්වවල භික්ෂූන් වහන්සේලා අතර මෙන් ම විහාරස්ථාන සම්බන්ධයෙන් ඇති වන අර්බුද විසඳා ගැනීමට පොදු සංඝාධිකරණ ක්රියාවලියක් අත්යවශ්ය ය. ඒ සඳහා මූලික සංඝාධිකරණ පිහිටුවීමට යෝජනා කරනු ලැබේ.
එසේ ම ආයති සංවරයෙහි පිහිටුවීමට ගනු ලබන උත්සාහයන්ගෙන් පවා හික්මවීමට නොහැකි, බරපතළ විනය විරෝධී ක්රියාකාරකම්වල යෙදෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ධර්ම විනයානුකූලව තීන්දු තීරණ ගැනීමේ බලය සහිත පොදු “කාරක සංඝාධිකරණයක්” ද ස්ථාපනය කිරීමට යෝජනා කරනු ලැබේ.
ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන නොමනා ක්රියාකාරකම් හේතුවෙන් අපකීර්තියට පත් වන්නේ එම භික්ෂූන් වහන්සේලා නියෝජනය කරන නිකාය හෝ පාර්ශ්වය පමණක් නොව සමස්ත සංඝ සංස්ථාව ම යි. වර්තමානයේ එක් නිකායකින් හෝ පාර්ශ්වයකින් ඉවත් කරන ලද භික්ෂුවක් වෙනත් නිකායකට හෝ පාර්ශ්වයකට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් සියලු නිකාය සහ පාර්ශ්වයන්ට බලපවත්වන පොදු ක්රියාපටිපාටියක් නොමැත. මේ හේතුවෙන් බරපතළ විනය විරෝධී ක්රියාකාරකම් සම්බන්ධයෙන් එක් නිකායක් හෝ පාර්ශ්වයක් විසින් ගනු ලබන තීරණ වෙනත් නිකාය සහ පාර්ශ්වයන් විසින් පිළිගැනීම සඳහා පොදු එකඟතාවක් සහ විනයානුකූල යාන්ත්රණයක් ස්ථාපිත කිරීම අත්යවශ්ය ය.
තව ද ශාසනයට සහ භික්ෂූන්ට නිශ්කාරණව ද්වේශ සහගත ලෙස නින්දා අපහාස කරන ගිහි බෞද්ධයන්ට පත්තනික්කුජ්ජන කර්මය කිරීමට පිහිටුවීමට යෝජනා කරනු ලබන කාරක සංඝාධිකරණයට හැක. ඒ තුළින් තථාගතයන් වහන්සේගේ අණින් වඩ්ඪ ලිච්ඡවීට සිදු කළාක් මෙන් ශාසනයට නින්දා පරිභව කරන ගිහියන්ගේ නිවෙස් පවා ශාසනයෙන් දුරස් කොට තබමින් ශාසනයට වන හානිය අවම කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.
අවසාන වශයෙන් සංඝාධිකරණයන් විසින් ලබා දෙන ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන “උත්තරීතර සංඝාධිකරණයක්” ද පිහිටුවිය යුතුය. ඒ තුළින් භික්ෂූන් වහන්සේලාගේ මූලික විනය අයිතිවාසිකම් ශාසනය තුළ ආරක්ෂා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
ශාසනික අර්බුදයන්ට කෙටිකාලීන සහ දීර්ඝකාලීන පිළියම් යෙදීම සඳහා මෙබඳු එක්සත් සංඝ යාන්ත්රණයක් පිහිටුවා ගැනීමට මෙතරම් සුදුසු කාලයක් තවත් නොමැත. සැබවින් ම අපි දැනටමත් ඒ සඳහා ප්රමාද වී ඇත්තෙමු. තවදුරටත් කල් මැරීමෙන් සිදු වන්නේ පවතින ශාසනික අර්බුද තවදුරටත් උත්සන්න වී පිළියම් යෙදීමට අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වීම යි. එබැවින් තවදුරටත් ප්රමාද නොවී ශ්රී ලාංකේය සංඝ සංස්ථාව එක්සත් කිරීමේ භාරදූර කර්තව්යයට උර දිය යුතු කාලය දැන් එළඹ ඇත.
“යෙන මෙ ඉදං කල්යාණං වත්තං නිහිතං අනුප්පවත්තෙය්යාථ, මා ඛො මෙ තුම්හෙ අන්තිමපුරිසා අහුවත්ථ” යන උතුම් බුද්ධ වචනය සිත්හි තබාගෙන ගෞතම සම්බුද්ධ ශාසනයෙහි අන්තිම පුරුෂයන් නොවී, පුරාණ සංඝ පීතෘන් වහන්සේලා විසින් අප වෙත පවරන ලද උතුම් ශාසනික උරුමය මතු පරපුරට සුරක්ෂිතව දායාද කිරීම සඳහා අප්රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළ යුතුය. ඒ සඳහා සියලු නිකාය සහ පාර්ශ්වයන්ගේ ස්වාධීනත්වය සහ අනන්යතාව ආරක්ෂා කර ගනිමින් ඉහතින් යෝජනා කරන ලද එක්සත් සංඝ යාන්ත්රණය යථාර්ථයක් බවට පත් කිරීමට ඇප කැප වී කටයුතු කිරීම ශාසනාලයෙන් හෙබි ස්ථවිර, මධ්යම සහ නවක භික්ෂූන් වහන්සේලා සියලු දෙනාගේ ම පරම වගකීම බව අවධාරණය කර සිටිමු.
ශ්රී ලංකා සාමග්තී මහා සංඝ සභා යෝජක මණ්ඩලයේ ලේඛකාධිකාරී, අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ උපසභාපති, ශාස්ත්රපති වටගොඩ මග්ගවිහාරී ස්ථවිර.
(medialk.com)
