ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණු ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා SLITHM ආයතනයේ පළමු උපාධි පාඨමාලාවක්

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් පිරිනමනු ලබන පළමු උපාධි පාඨමාලාව වන හෝටල් හා නිවාඩු නිකේතන කළමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව 2026 ඔක්තෝබර් 27 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. දශක හයකට වැඩි කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ අත්දැකීම් සහිත මෙම ආයතනයේ නව පියවර, ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නියෝජිතයෝ සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය අවධාරණය කළ අතර, එම ක්ෂේත්‍රයේ කාන්තා සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නාය. අලුතින් බඳවාගත් සිසුන් 65 දෙනාගෙන් බහුතරය කාන්තාවන් වීම පිළිබඳව ද සඳහන් කළ ඇය, තම අධ්‍යාපන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවට දායක වන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ (SLCB) සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා, මෙම උපාධි පාඨමාලාවේ ප්‍රායෝගික පුහුණුවට ලබා දී ඇති වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම, සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සමඟ දිගුකාලීන සහයෝගීතා සබඳතා ගොඩනඟා ගැනීමේදී ආයතනය ඉටු කර ඇති කාර්යභාරය ද ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයකු සහ එම විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ (IHRA) අධ්‍යක්ෂ මහාචාර්ය සුරංග සිල්වා මහතා, මෙම උපාධි පාඨමාලාවේ අවශ්‍යතාව පැහැදිලි කළේය. සුදුසුකම් ලත් සංචාරක වෘත්තිකයන් සඳහා ලොව පුරා පවතින ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීම, ක්ෂේත්‍රයේ පවතින කුසලතා හිඟය පියවීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පිළිගත් සුදුසුකම් සහිත උපාධිධාරීන් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණු බව ඔහු සඳහන් කළේය. වසර හතරකින් සමන්විත මෙම උපාධි පාඨමාලාවට අධ්‍යයන කටයුතු, කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව, සීමාවාසික පුහුණුව, නිබන්ධන පර්යේෂණ සහ විදේශ භාෂා අධ්‍යයනය ඇතුළත් වන අතර, එමඟින් රැකියා වෙළෙඳපොළට අවශ්‍ය දැනුම හා කුසලතාවලින් සපිරි උපාධිධාරීන් බිහි කිරීම අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාව සතු සංචාරක ආකර්ෂණය සහ විශේෂයෙන්ම මෙරට ප්‍රසිද්ධ ආගන්තුක සත්කාරය පිළිබඳව අවධාරණය කළේය. 2025 වසරේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම සංචාරක පැමිණීම් සංඛ්‍යාව වාර්තා කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, 2030 වන විට සංචාරකයන් මිලියන 4ක් මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක සංචාරක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව පැවසීය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් සහ සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා සඳහන් කළේය. වසර 11කට පසු British Airways ගුවන් සේවය කොළඹට ගුවන් ගමන් යළි ආරම්භ කිරීම, රටවල් කිහිපයකින් නව ගුවන් සම්බන්ධතා ඇතිවීම, 2027 වසරේදී බීජිං සිට කටුනායක දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඇති සැලසුම් සහ වියට්නාමයේ සිට ක්‍රියාත්මක වන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළ නැංවීම ඒ අතර වේ.

සංචාරක කර්මාන්තයේ පුහුණු හා නිපුණතා සහිත වෘත්තිකයන් සඳහා පවතින ඉහළ ඉල්ලුම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, එම ක්ෂේත්‍රයේ පුරප්පාඩු ආසන්න වශයෙන් 600,000ක් පවතින බව සඳහන් කළේය. සංචාරක අධ්‍යාපනය සහ පුහුණුව දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම SLITHM ආයතනයේ ශාඛා පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය. ලෝක බැංකුවේ සහාය ඇතිව ආයතනයේ යටිතල පහසුකම්, පුහුණු පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කරමින් එය ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම් ද අමාත්‍යවරයා පැහැදිලි කළේය. නව සංචාරක පනත යටතේ උපාධි පාඨමාලාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, උතුරු මැද පළාත් සභාව සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස හබරණ ප්‍රදේශයේ අර්ධ වශයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් සහ ඊට අදාළ භූමිය SLITHM ආයතනය වෙත පවරා දීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම පරිශ්‍රයේ සංචාරක පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයේ අනෙකුත් රටවලට ද සේවය සපයන සංචාරක පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස හබරණ සංවර්ධනය කිරීම එහි අරමුණයි.

මෙම උපාධි පාඨමාලාව සංවර්ධනය කිරීම සඳහා දායක වූ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ හවුල්කාර ආයතනවලට මෙන්ම, හිටපු නිලධාරීන්ට සහ උපදේශක කණ්ඩායමේ සාමාජිකයන්ට ද ඔවුන්ගේ දායකත්වය අගයමින් සමරු තිළිණ ප්‍රදානය කිරීම ද මෙම උත්සවයේදී සිදු කෙරිණි.

Leave A Comment