‘මුරාසු’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි, චෙන්නායි හි ගුවන් ගමන්වලටත් බාධා.
- Log2Bandara
- November 3, 2026
- කාලගුණය, පුවත්
- 'මුරාසු', සුළි කුණාටුව
- 0 Comments
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ ‘මුරාසු’ ප්රචණ්ඩ සුළි කුණාටුව අද(03) ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයට ඇතුළු විය.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද(03) අලුයම 1:00ට පමණ ආන්ද්‍රා ප්‍රදේශ්හි ඔංගෝල් නගරය ආසන්නයෙන් ආරම්භ වූ එම ගොඩබිමට කඩා වැදීමේ ක්‍රියාවලිය පැය කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ බවයි.
සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු වන අවස්ථාවේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 110 – 120 දක්වා ඉහළ මට්ටමක පැවති බවද වාර්තා වේ.
එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ ඔංගෝල්, බපත්ලා, ක්‍රිෂ්ණා සහ ප්රකාශම් යන දිස්ත්‍රික්කවල පහත්බිම් රැසක් මුහුදු රළ ගොඩගැලීමෙන් යටවීමේ දැඩි අවදානමක පවතින බවයි.
ඊට අමතරව ඉදිරි පැය කිහිපය තුළ දකුණු වෙරළබඩ ආන්ද්‍රා ප්‍රදේශයට අඛණ්ඩ තද වැසි සහ ප්රචණ්ඩ සුළං තත්ත්වයන් ද ඇතිවනු ඇති.
අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 11ක් සහ ගන්නවරම් ගුවන් තොටුපළෙන් පිටත්වීමට නියමිතව තිබූ ඉන්ඩිගෝ ගුවන් ගමන් 10ක් ඊයේ අවලංගු කෙරුණි.
ඔඩිෂා ප්‍රාන්ත රජය ද අවදානම් කලාපවල වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත්හ.
විදුලි බිඳවැටීම්, ගස් කඩාවැටීම්, නිවාස හානි සහ ජල ගැලීම් ඇතුළු හදිසි විපත් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් විශේෂ WhatsApp හදිසි සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
ඉන්දීය කාලගුණ අංශ පැවසුවේ, මුරසු සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු වීමෙන් අනතුරුව එරට වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බවයි.
