අප අතරින් වියෝ නොවන ලාල් විජේනායක
ලාල් විජේනායක කායිකව අපෙන් සමු ගත් නමුත් ඔහු තම ජීවිත කාලය පුරාම පෙනී සිටි කැප වූ අරමුණු සහ පරමාර්ථ ශ්‍රී ලංකාවේ මෑත කාලින ඉතිහාසයෙන් කිසි දින සමු ගන්නේ නැත. ජාති ආගම් සහ වාර්ගික වශයෙන් බෙදී සිටින ජනතාව එකම වහළක් යට සාමයෙන් සතුටින් ජීවත් වනු දැකීම ඔහුගේ අපේක්ෂාව විය. දේශපාලන කැපවීමක් සහ පරිත්‍යාගයක් නොමැතිව එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය කිසි දින යථාර්ථයක් නොවන බව ඔහු දැන සිටියේය. ඔහු තම ජීවිත කාලයෙන් දශග හයකට වැඩි කාලයක් වැය කෙලේ එම සිහිනය යථාර්ථයක් වනු දැකිමට අවශ්‍ය මතවාදයක් සහ ක්‍රියා පිළිවෙතක් ගොඩ නැගිමටය.
ලාල් විජේනායක යුග පුරුෂයෙකු වන්නේ එම නිසාය.
නමසිය හැට ගණන්වල පේරාදෙණිය සරසවියෙන් විද්‍යා උපාධියක් ලබා ගත් ඔහුගේ සිත ඇදී ගියේ භෞතික විද්‍යාවට නොව දේශපාලන විද්‍යාව කෙරේය. එම යුගයේ පැවති සමාජ දේශපාලන පරිසරය අනුව දේශපාලන කාර්ය බාරයක් ඉටු කිරිමට නම් නීති දැනුම අත්‍යාවශ්‍ය සාධකයන් වූ නිසා නීතිය පිළිබඳ පුළුල් වූ දැනුමක් නීති විද්‍යාලයෙන් ද ලබා ගත්තේය. එම නීති දැනුම ඔහුට වැදගත් වූයේ මුදල් ඉපයීමට වඩා සමාජයේ පීඩිත කොටස්වල අයිතිය වෙනුවෙන් පෙනි සිටීමට ය. ඔහුගේ සේවාදායකයන් වූයේ වතුකරයේ කම්කරුවන් සහ වෙනත් පීඩිත ජනයා ය. ජනතාව ඔහුගේ එම කැපවීමට අනුග්‍රහය දැක් වූයේ වාර ගණනාවක්ම ජනතා නියෝජිතයෙකු වශයෙන් මධ්‍යම පළාත් සභාවට තෝරා පත් කිරීමෙනි.
එම යුගයේ බොහෝ සටන්කාමී තරුණ තරුණියන් මෙන් ලාල් ගේ දේශපාලන දිවිය ආරම්භ වූයේ ද සමසමාජ පක්ෂයෙනි. ඒ වෙනුවෙන් වූ ඇප කැපවිම නිසා වසර ගණනාවක්ම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය ද ඔහුට පිරි නැමිණ.
එහෙත් ඔහු කිසි විටෙකත් පක්ෂයේ දේශපාලනය අන්ධ භක්තියෙන් ඇදහූවේ නැත. පක්ෂයේ බහුතරය වැරදි තීරණ ගත් විට ඒවා විවේචනය කිරීමට ඔහු කිසිවිටෙක පසු වූයේ නැත. තමාගේ දේශපාලන දැක්මත් සාමාන්‍ය ජනතාව සමග වැඩ කිරීමෙන් ලබා ගත් පරිචයත් අනුව සාවද්‍ය මතවාද විවේචනය කිරීම ඔහුගේ ජීවන අභ්‍යාසයයි.
ලාල් විජේනායක සහෝදරයා ජාතික ජනබලවේග රජය 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පනතත් ඉදිරිපත් කළ විට ඒවාට විරුද්ධව සිය මතය ප්‍රකාශ කෙළේ ජාතික ජනබලවේගයේ විධායක මණ්ඩලයේ දැරූ තනතුරු නොසලකාය. ලාල් සැම විටම ප්‍රතිපත්ති ගරුක වූයේය. තනතුරු තාන්න මාන්න කිසි විටෙකත් ඔහු බැඳ තැබුවේ නැත.
ඒ සියල්ලට වඩා ඔහු අමරණීය වන්නේ 2015 යහපාලන රජයෙන් පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති වශයෙන් ඉටු කළ අගනා කාර්ය භාරයයි. මෙම කමිටුවේ සාමාජිකයන් 15 අතර උද්යොගිමත් සාමාජිකාවක් වූයේ වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය බවද සිහිපත් කළ යුතුය.
මෙතෙක් අපේ රටේ පැවතියේත් දැනට පවතින්නේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය හෝ ප්‍රතිසංස්කරණය දේශපාලකයන්ගේත් නිතිවේදීන්ගේත් කාර්යක් ලෙසිනි. සමාජයේ බුද්ධිමතුන් සේ සැලකෙන අයගේ උදහස් සහ යෝජනා ලබා ගත්තේ අකමැත්තෙන් හෝ නොකර බැරි නිසාමය.
එහෙත් ලාල් විජේනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය දුටුවේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකරයට ය. ප්රජාතන්ත්රවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටේ සියලු ජනතාවගේ අදහස් උදහස් ඕනෑ එපාකම් නිරූපණය වන්නක් විය යුතු බව ඔහු තරයේ විශ්වාස කෙළේය. ඒ අන් කිසිවකටත් වඩා පුරවැසියන් වන රටේ ජනතාව යනු රටේ ස්වෛරී බලය හිමි අය වීම නිසාය. ඒකාධිපති අත්තනොමතික බලයෙන් මිදී සැබැවින්ම ජනතාවාදී ප්රජාතන්ත්රීය රජයක් වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දි මූලික වශයෙන්ම වැදගත් වන්නේ ජනතා අදහස් ලබා ගැනිම සහ ඒ අනුව ශිෂ්ට ලෝකයේ පිළිගත් ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග අනුව නීති සම්පාදයයි. මෙහිදී ඔහු ජනතාව යනුවෙන් අදහස් කෙළේ බහුතරය පමණක් නොවේ. මෙම භූමි ප්‍රදේශය නිවහන කර ගත් සියලු ජන කොටස් ය. එම ජනතාව වාර්ගික ආගමික භාෂාමය හෝ පදිංචි ප්‍රදේශ අනුව බෙදි සිටියත් ඔවුන් සියලු දෙනාට තමන්ගේ විවිධ වූ අනන්‍යතාවය පවත්වා ගනිමින් කිසිම ආකාරයේ වෙනස් කොට සැලකීමක් නැතිව ජීවත්වීමටත් තම ජීවිත පවත්වා ගැනීමටත් අවශ්‍ය නීතිමය සහ දේශපාලන පරිසරය පවත්වා ගැනීම තහවුරු කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික පරමාර්ථය විය යුතු බව ඔහු තරයේ විශ්වාස කෙළේය.
එම නිසා ඔහු මහජන අදහස් විමසීම දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන ආකාරයට සැලසුම් කෙළේය. ඒ සඳහා සති හයක කාලයක් වෙන් කළ අතර දිස්ත්‍රික්කයක අඩුම වශයෙන් දින දෙකක් හෝ අදහස් විමසීමට වෙන් කෙළේය. අදහස් විමසීමේ ක්‍රියාවලියේ දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කමිටු සාමාජිකයන් 17 දෙනා තොරතුරු රැස් කිරීමට කණ්ඩායම්වලට වෙන් කෙළේ බලය බෙදා හැරීමේ ප්‍රතිපත්තිය සැබැවින්ම අනුගමනය කිරීමෙනි.
ලාල් ගේ විශිෂ්ටත්වය වන්නේ පුද්ගලයින් සහ සංවිධාන 2500කට අධික සංඛ්‍යාවකින් ද විද්‍යුත් තැපෑලෙන් ලත් පණිවුඩ 800ක් ද, පැක්ස් මගින් එවා තිබු ලිපි 150ක් ද සම්පිණ්ඩණය කොට මාසයක් වැනි කෙටි කාලයක් තුළ වාර්තාවක් සකස් කිරීමය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකුම අනිවාර්යෙන්ම කියවිය යුතු එම වාර්තාව දැක්වීමට මෙය අවස්ථාවක් නොවන නමුත් ඒ සියලු අදහස් යෝජනා සහ මතවාද කැටි කොට ඉදිරිපත් කළ නිර්දේශ කිපයක් ඉදිරිපත් කිරීම ඔහුට කරන ගෞරවයක් සේ සිතමි.
පළමුවෙන්ම ඔහුගේ යෝජනාව වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පිවිසුම විය යුත්තේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කොට අයිතිවාසිකම් පනතකින් මූලික අයිතිවාසිකම් පුළුල් කිරීම ය. එමෙන්ම ඒ සඳහා ස්වාධින කොමිසන් සභා සහ ආයතන පිහිටුවිය යුතුය.
දෙවැනිව පාලන ක්‍රියාවලියේ දී සහ දේශපාලන ජීවිතයේ දී මහජනයාට ක්‍රියාකාරීව සහභාගිවීමට සහ සහභාගිත්වය ලබා ගැනීමට අවස්ථා සැලසිය යුතුය.ඒ සඳහා පළාත් පාලන ආයතන විධිමත්ව ක්රියාත්කිරීමට මධ්‍යම රජය පියවර ගත යුතුය. ඒ සඳහා සුදුසු සහ යෝග්‍ය පියවර වන්නේ බලය විමධ්‍යගත කිරීම සහ බෙදා හැරීමය. සැබෑවටම ජනතා ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක වීමට නම් රාජ්‍ය ව්‍යුහය තුළ ග්‍රාමීය සහ නාගරික ජනතාවට සෘජුවම සහභාගිවීමට ක්‍රියා පටිපාටි තිබිය යුතුය.
තුන්වැනිව ජාතික ප්‍රතිසංධානය ප්‍රමුඛතා කාර්යක් සේ ඔවුන් හඳුනා ගෙන ඇත. රටේ දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට පදනම වන්නේ ජාතික ප්රතිසංධානයයි. ප්‍රතිසංධානය තහවුරු කිරීමට පදනම් වන්නේ කිසිම ආකාරයකින් වෙනස් කොට නොසැලකීම සහ සියලු දෙනාට සමාන ගරුත්වයක් ලබා දීමය. එය කල හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන බලය බෙදා හැරීමේ ක්‍රියා පිළිවෙළකින් පමණය. නීතියේ ආධිපත්‍යය එහි උපාංගයකි.
එම කමිටු වාර්තාවෙන් දක්වා ඇති සිවු වැනි කරුණ වන්නේ ජනතාවට පහසුවෙන් පිවිසිය හැකි ගනුදෙනු කළ හැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමය.
මෙම කරුණුවල වැදගත්කම සහ අදාලත්වය නැවත නැවතත් විස්තර කළ යුතු නොවේ. එහෙත් අභාවප්‍රාප්ත ලාල් විජේනායක සහෝදරයාට කළ හැකි ගෞරවය වන්නේ ඔහු පැතු මෙවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අපගේ කාලය සහ ශක්තිය වැය කිරීමෙනි. ඔහු අප අතර සදා ජීවත් වන්නේ එවැනි ක්‍රියාමාර්ගයක් තුළින් පමණි.
| මහින්ද හත්තක
