ලියර්ජෙට් (Learjet) ගුවන් යානා අනතුරට සම්බන්ධ ඉතා වැදගත්’ සාක්ෂියක් හමුවේ

ෆ්ලොරිඩාවේ සිදුවූ ලියර්ජෙට් (Learjet) ගුවන් යානා අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් කිහිපයක් ඈතින් ‘ඉතා වැදගත්’ සාක්ෂියක් සොයාගත් බව පරීක්ෂකවරයා පවසයි!

ගුවන් යානයේ සිටි පුද්ගලයින් නවදෙනාම මියයමින් ෆ්ලොරිඩාවේදී පොළවට කඩා වැටුණු ලියර්ජෙට් යානයේ කොටසක්, අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් 4 කට ආසන්න ඈතින් තිබී සොයාගත් බව පරීක්ෂකයින් අඟහරුවාදා ප්‍රකාශ කළ අතර, එමගින් යානය පොළවේ හැපීමට පෙර කොටස්වලට කැඩී වෙන්වීමට පටන්ගෙන තිබූ බව තහවුරු වේ.

ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලයේ (NTSB) සාමාජික ටොම් චැප්මන් මහතා පැවසුවේ, යානයේ තිරස් ගමන් මග සහ කෝණය (pitch) පාලනය කරන වලිග කොටසේ පිහිටි වම්පස එලිවේටරයේ (left elevator) වැඩි කොටසක් කොටස් තුනකට කැඩී, යානය ඉරිදා පස්වරුවේ කඩා වැටුණු වෙස්ට් පාම් බීච් (West Palm Beach) අසල ග්‍රීන්ඒකර්ස් (Greenacres) හි සිට සැතපුම් 1.3 ක් (කිලෝමීටර 2) සහ සැතපුම් 3.8 ක් (කිලෝමීටර 6.1) අතර ප්‍රදේශයක තිබී සොයාගත් බවයි.

“ගුවන් යානයේ පාලනය ගිලිහී යාමට හරියටම හේතුව කුමක්ද, නැතහොත් මෙම කොටස ගැලවී යාම යානය මත ඇති වූ දැඩි බලපෑමේ ප්‍රතිඵලයක්ද යන්න අපි තවම දන්නේ නැහැ,” චැප්මන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

එලිවේටරය සක්‍රීයව නොමැතිව, නාසය පහතට දමාගෙන කඩාගෙන වැටෙන යානය (nosedive) නැවත ඉහළට ගැනීමට නියමුවාට හැකියාවක් නොලැබෙන බව චැප්මන් පැවසීය.

“එම වේගයන්හිදී එය තවදුරටත් යානයට සවි වී තිබුණද කොතෙක් දුරට ඵලදායී වේදැයි මා දන්නේ නැහැ. නමුත් එය අහිමි වී ඇති බව දැනගැනීම, පරීක්ෂණ ඉදිරියට ගෙන යාමේදී වෙනත් කරුණු දෙසට අවධානය යොමු කිරීමට උපකාරී වන ඉතා වැදගත් සාක්ෂියක්,” චැප්මන් පැවසීය.

යානයෙන් ගැලවී ගිය කොටස් නෝස්ඩයිව් (nosedive) තත්වයේ ප්‍රතිඵලයක් මිස අනතුරට ප්‍රධාන හේතුව නොවන බව ගුවන් සේවා ආරක්ෂක විශේෂඥ ජෙෆ් ගුසෙට්ටි ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට පැවසීය. අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් කිහිපයක් ඇතුළත ඒවා සොයා ගැනීමෙන් ඇඟවෙන්නේ එලිවේටර් කොටස් ගැලවී වැටී ඇත්තේ පොළවට ආසන්නයේදී බවයි.

“එම කොටස් වැඩි උසකදී ගැලවී ගියේ නම්, ඒවා මීට වඩා ගොඩක් ඈතට විසිවීමට ඉඩ තිබුණා,” ගුසෙට්ටි පැවසීය.

මියගිය අය අතර තාක්ෂණික ව්‍යවසායක ඇඩම් රොබින්සන් (Adam Robinson); ඔහුගේ බිරිඳ හෙලන් ෂාප් (Helen Sharp); සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා ද වන බව ඥාතීන් පැවසීය. පවුලේ මෙහෙකාරිය වූ ඇනා මරියා රමිරෙස් සෙටිනා (Ana María Ramírez Cetina) ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් මියගිය මගීන්ගේ පවුල්වල අය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වූයේ, සෙටිනා රොබින්සන්ගේ දරුවන්ව “ආදරයෙන් සහ කැපවීමෙන් බලාගත් බවත්, ඇය සැබවින්ම පවුලේම කොටසක් වූ බවත්ය.” සෙටිනා “කොන්දේසි විරහිත ආදරය සහ කැපවීමේ ආදර්ශයක් අපට පෙන්වා දුන්නා,” යැයි ඔවුහු පැවසූහ.

සෙටිනාගේ උපන් රට වන කොලොම්බියානු රජය ප්‍රකාශ කළේ ඇගේ පවුලේ අයට අවශ්‍ය සහාය ලබා දෙන බවයි.

AP news.

සූරි

Leave A Comment