ඩෙමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ ජයග්‍රහණය ලබයි

ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට එල්ල වූ දැඩි විරෝධයක් පෙන්නුම් කරමින්, ඩෙමොක්‍රටික් පක්ෂය ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජයග්‍රහණය කරමින් කොන්ග්‍රස් මණ්ඩලයේ බලය සම්පූර්ණයෙන්ම තමන් නතු කර ගනී.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන ද්විත්වයම ජයග්‍රහණය කිරීමෙන් පසු ඩෙමොක්‍රටික් පක්ෂය කොන්ග්‍රස් මණ්ඩලයේ සම්පූර්ණ බලය හිමිකර ගනී.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කොන්ග්‍රස් මණ්ඩලය තුළ අලුත් විරෝධතාවයක යුගයක් ආරම්භ කරමින්, ඩෙමොක්‍රටික් පක්ෂය කොන්ග්‍රස් මණ්ඩලයේ සභා දෙකෙහිම බලය ජයග්‍රහණය කළේය. අඟහරුවාදා පැවැති මැදවාර මැතිවරණයේදී (midterm elections) ඩෙමොක්‍රටික් පාක්ෂිකයෝ රට පුරා තම ප්‍රතිවාදීන් පරාජය කළ අතර, වසර දෙකකට පෙර ට්‍රම්ප් වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ, දශක ගණනාවක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දුන් ප්‍රාන්ත පවා තම වසඟයට ගත්හ.

වසර 30 කට වැඩි කාලයකින් ඩෙමොක්‍රටික් පාක්ෂිකයෙකු ප්‍රාන්ත මට්ටමේ ඡන්දයක් ජයගෙන නොතිබූ ටෙක්සාස් හි ජේම්ස් තලාරිකෝ ලැබූ විශිෂ්ට සෙනෙට් ජයග්‍රහණය සහ සවුත් කැරොලිනා හි සෙනෙටර් ඩාර්ලින් ග්‍රැහැම් පරදවමින් ඇනී ඇන්ඩෲස් ලැබූ අනපේක්ෂිත ජයග්‍රහණය ද ඊට ඇතුළත් ය.

ට්‍රම්ප් මෙම පරාජිත අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන්ම සිය පූර්ණ සහයෝගය ලබා දී තිබුණි.

මිචිගන් හි, ඩෙමොක්‍රටික් ප්‍රාථමික මැතිවරණවලදී ජයග්‍රහණය කළ වාමාංශික අපේක්ෂකයින් පිරිස අතර සිටි ප්‍රගතිශීලී අබ්දුල් එල්-සයීඩ්, රිපබ්ලිකන් පාක්ෂික මයික් රොජර්ස් අභිබවා ගියේය. අභියෝගාත්මක මැතිවරණවලින් ජයගෙන පළපුරුද්දක් ඇති මේන් හි රිපබ්ලිකන් සෙනෙටර් සුසාන් කොලින්ස් පවා ඩෙමොක්‍රටික් පාක්ෂික ට්‍රෝයි ජැක්සන් හමුවේ පරාජයට පත් වූවාය.

AP Voter Poll සමීක්ෂණයට අනුව, වසර දෙකකට පෙර ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට ගෙන ආ සන්ධානය මෙවර සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, යෞවනයන් සහ ලතින් ඇමෙරිකානු (Latinos) ඡන්දදායකයින් රිපබ්ලිකන් පක්ෂයෙන් ඉවත් වී ඇත. හිස්පැනික් (Hispanic) ඡන්දදායකයින්ගෙන් තුනෙන් එකක් පමණක් තම ප්‍රදේශයේ U.S. නියෝජිත මන්ත්‍රී මණ්ඩල තරගවලදී රිපබ්ලිකන් පක්ෂයට සහය දුන් බව පැවසූහ.

මෙය ට්‍රම්ප්ට එල්ල වූ දැඩි පහරක් වූ අතර, ඔහු තම ආධාරකරුවන් උනන්දු කරවීම සඳහා පසුගිය මාසයේ සෑම දිනකම පාහේ ජනරැලියන් පැවැත්වුවද මෙම පරාජය නැවැත්වීමට අසමත් විය.

මෙම ප්‍රතිඵල ට්‍රම්ප්ගේ ඉතිරි ධුර කාලය නැවත සකස් කරනු ඇත.

තමන්ව පාලනය කිරීමට ගන්නා උත්සාහයන් මැඩපැවැත්වීමට ට්‍රම්ප් දක්ෂතාවයක් දක්වා තිබුණද, ඩෙමොක්‍රටික් පාලනය මගින් ට්‍රම්ප්ගේ අවසන් වසර දෙකේ ධුර කාලය සැලකිය යුතු ලෙස වෙනස් කරනු ඇති අතර ඔහුගේ ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රයට ද බාධා පමුණුවනු ඇත.

පක්ෂ නායකයින් සංඥා කර ඇත්තේ, ට්‍රම්ප්ගේ පාලන සමයේ අවසන් වසර දෙක තුළ ඔහුගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිළිබඳ පරීක්ෂණ මාලාවක් පැවැත්වීමට සහ ඔහු තම පවුල පෝෂණය කරගත් ආකාරය ගැන වැඩිදුර විමර්ශනය කිරීමට මෙම නව බලය භාවිතා කරන බවයි. ට්‍රම්ප් සහ ඔහුගේ කැබිනට් නිලධාරීන් දෝෂාභියෝගයකට ලක් කිරීම ද බැහැර කළ නොහැක.

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ට්‍රම්ප්ගේ හිටපු ඉහළ උපදේශකයෙකු වන තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලයා වන ඊලොන් මස්ක් ද මෙලෙස පරීක්ෂණවලට ලක්විය හැකි අය අතර වෙති.

අඟහරුවාදා රාත්‍රියේ පැවැති සමරු උත්සවවලදී, ඩෙමොක්‍රටික් සෙනෙට් නායක චක් ෂූමර් මෙම ප්‍රතිඵල “සෙනෙට් සභා සිතියමේ පරම්පරාගත වෙනසක්” ලෙස හැඳින්වීය. ඩෙමොක්‍රටික් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නායක හකීම් ජෙෆ්රීස් පැවසුවේ “ඇමෙරිකානු ජනතාව පරිවර්තනීය වෙනසක් ඉල්ලා හඬ නගන” බවයි.

බටහිර වෙරළ තීරයේ ඡන්ද විමසීම අවසන් වීමටත් පෙරම, තමා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවූ බව සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහන් කරමින් ට්‍රම්ප් වහාම තම පක්ෂයේ පරාජයේ වගකීම වෙනත් දෙසකට යොමු කිරීමට උත්සාහ කළේය.

තමා ඡන්දයට ඉදිරිපත් වූවාක් මෙන් කටයුතු කරන ලෙස ඔහු සති ගණනාවක් තිස්සේ ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියද ඔහු එසේ පැවසීය. ඩෙමොක්‍රටික් පාලනය සහිත කොන්ග්‍රසයේ පනත් නිෂේධ (Veto) කරන බවට සපථ කළ ඔහු, ඔහුගේ ප්‍රසිද්ධ “Make America Great Again” ප්‍රචාරක තොප්පිවල ශෛලියෙන් “VETO” ලෙස සටහන් කළ රතු පැහැති බේස්බෝල් තොප්පියක පින්තූරයක් ද මුදාහැරියේය

AP News

සූරි

Leave A Comment