වගන්ති තුනක් සංශෝධනයට සූදානම්
- Log2Bandara
- November 6, 2026
- දේශපාලන
- ජනපති අනුර කුමාර දිසානායක
- 0 Comments
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ
පැය 72ක රඳවා ගැනීමේ කාලය 48ට අඩු කරනවා | පච්ච නීතියත් නෑ
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති 3ක් සංශෝධනය කිරීමට සූදානම් බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනපතිවරයා මේ බව සඳහන් කළේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමට වසරක් සපිරීම නිමිත්තෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති සර්ව ආගමික සමුළුව අමතමිනි. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාකච්ඡා වෙමින් පවතින බවත් එහිදී යෝජනා කරන සංශෝධන සිදු කිරීමට සූදානම් බවත් ජනපතිවරයා පැවසීය.
එම පනත් කෙටුම්පතේ සඳහන්, අත්අඩංගුවට ගත් පුද්ගලයකු රඳවා තබා ගැනීමේ කාලය පැය 72 සිට 48 දක්වා අඩු කිරීමටත්, ශරීරයේ පච්ච පිළිබඳව වන නීතිය සංශෝධනයටත් සුරාබදු ආඥා පනත යටතේ වන වැරදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ යටතට නොගැනීමට අදාළ සංශෝධන කිරීමටත් සූදානම් බව ජනපතිවරයා සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ මොහොත වනවිට අත්‍යවශ්‍ය නොවන පනතක් හෙයින් එය දුර්වල පනතක් බවට පත් කිරීමටත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා විධිමත් ශක්තිමත් පනතක් අත්‍යවශ්‍ය වන බව ජනපතිවරයා අවධාරණය කළේය.
පරිසර නීති, මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීති සහ පොදු දේපළ පනත පිළිබඳ නීති සකස් වූ ආකාරයට සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා ද නීති සකස් විය යුතු බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.
මෙවැනි පනත් සකස් කිරීම මඟින් තමන්ට ආණ්ඩුවට හෝ පොලීසියට අනිසි බලයක් එක් නොවන බවත් බලය හෙබවිය යුත්තේ එය අත්හැරීමට සූදානම් වන බවට වන මනෝභාවයකින් යුක්තව බවත් ජනපතිවරයා සඳහන් කළේය. කිසිදු නීතියක් සර්වකාලීන නොවන බවත් සමාජ අභියෝගයන්ට මුහුණදීමට සමත් ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය වන බවත් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
උපාලි කරුණාරත්න

