AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භය
ආයුර්වේද සහ පරිපූර්ණ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් වන AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ Solis හෝටලයේදී පැවැත්විණි.
“රෝගයක් වැළඳී ප්‍රතිකාර කිරීමට වඩා එය වළක්වා ගැනීම සැමවිටම උච්චතම වේ” යන්න මෙහිදී සිහිපත් කළ අමාත්‍යවරයා, බෙහෙත් සහ ඖෂධවලින් පමණක් ලබා දිය හැකි සීමාවෙන් ඔබ්බට යමින්, මානසික යහපැවැත්ම සඳහා වන ලිහිල් වීම (Relaxation) සහ ආතති කළමනාකරණය වැනි සර්වාංගී ප්රවේශයන් (Holistic approaches) තුළින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රගමනයට ආයුර්වේදයට සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බව අවධාරණය කළේය. නවීන විද්‍යාත්මක පර්යේෂණ, වෘත්තීය ප්රමිතීන් සහ රෝගීන්ගේ ආරක්ෂාව මත පදනම් වෙමින් දේශීය වෛද්‍ය වෘත්තිකයින්ට සහ අධ්‍යයන ආයතනවලට මෙම ජාතික සෞඛ්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දිය හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨය (Faculty of Indigenous Medicine) සහ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව (UGC) ඒකාබද්ධව AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරනු ලබයි. ඒ අනුව “12 වැනි ආයුර්වේද, යුනානි, සිද්ධ සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICAUST 2026)” සහ ආයු ප්‍රසාදනී “Ayu Prasadhani – 1 වැනි ජාත්‍යන්තර සමුළුව සහ ප්‍රදර්ශණය (1st International Conference on Ayurveda & Holistic Health) නොවැම්බර් මස 06 සිට 09 දින දක්වා කොළඹ විශ්වවිද්‍යාලය දේශීය වෛද්‍ය පීඨයේ දී (සම්මන්ත්රණ ශාලාව) සහ මීගොඩ පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ දී පැවැත්වේ.
සම්ප්‍රදායික සුව කිරීමේ ක්‍රමවේදයන් තුළ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර නවෝත්පාදනයන් සිදු කිරීම අවධාරණය කෙරෙන “Sustainability and Innovation in Traditional Medicine for Holistic Approach” (සමස්ත ප්‍රවේශයක් සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ තිරසාරභාවය සහ නවෝත්පාදනය) යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.
මෙම සමුළුවේ අරමුණ වන්නේ ලොව පුරා සිටින ප්රමුඛ පෙළේ පර්යේෂකයන්, විද්වතුන්, වෛද්‍යවරුන්, සම්ප්‍රදායික සහ බටහිර වෛද්‍යවරුන්, ආයුර්වේද සහ ඖෂධීය නිෂ්පාදකයින් මෙන්ම අපනයනකරුවන්, ආයතනික ක්ෂේත්රයේ සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ සාමාජිකයින් සහ සියලුම පාර්ශවකරුවන් සඳහා එකම වේදිකාවක් සකසා දීමයි. ආයුර්වේද, යුනානි, සිද්ධ සහ සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ වත්මන් දියුණුව මෙහිදී කැපී පෙනෙන ලෙස සාකච්ඡාවට බඳුන් වන අතර, සායනික ඒකාබද්ධතාවය, රෝග වැළැක්වීම, නිශ්චිත රෝගී තත්ත්වයන් කළමනාකරණය කිරීම සහ නැඟී එන පර්යේෂණ ඵලදායී ලෙස ඇගයීමට ලක් කිරීම සඳහා සාක්ෂි සහිත ප්‍රායෝගික මඟපෙන්වීම් ද මෙහිදී සපයනු ලැබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, පරම්පරා ගණනාවක් තිස්සේ ජනතාවගේ යහපැවැත්මට දායක වූ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේද අපගේ ජාතික අනන්‍යතාවයේ වැදගත් කොටසක් වන බවයි. රෝගී වූ විට ප්‍රතිකාර කිරීමට වඩා රෝග නිවාරණය (Disease Prevention) සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම කෙරෙහි රජයේ සෞඛ්‍ය උපාය මාර්ගයන්හි විශේෂ අවධාරණයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
බෝ නොවන රෝග ඉහළ යාම සහ ජනගහනය වයස්ගත වීම හමුවේ සෞඛ්‍ය සේවාවන් සපයන ආකාරය ප්‍රතිනිර්මාණය කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා, ජනතාව නිරෝගීව තැබීම උදෙසා මුළු දිවයිනම ආවරණය වන පරිදි අදියර වශයෙන් ‘ආරෝග්‍ය සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථාන’ (Arogya Health and Wellness Centers) 1000ක් පිහිටුවීමේ රජයේ සුවිශේෂී මුලපිරීම පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. එමඟින් රෝග නිවාරණ සත්කාර, මුල් අවධියේදීම රෝග හඳුනා ගැනීම සහ වෛද්‍ය උපදෙස් ප්‍රජාවට වඩාත් සමීපව ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය.
සමාරම්භක උත්වයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී.පී. පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වන ලදී.
සමුළුවට අදාළ පර්යේෂණ පත්‍රිකා සංග්‍රහය (Abstract Book) එළිදැක්වීම, දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ විද්වතුන් උදෙසා “ආයු අභිමාන්” උපහාර ඵලක පිරිනැමීම සහ සංවිධායක මණ්ඩලය අගයමින් ඇගයීම් සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ Dr. MGR වෛද්‍ය විශ්වවිද්‍යාලයේ (යුනානි) වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වී. හබීබුල්ලා (Prof. V Habibullah) සහ සිද්ධ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එන්. කබිලාන් (Prof. N Kabilan) යන මහත්වරුන් සහභාගී වෙමින් දේශීය වෛද්‍ය ක්‍රමවේදයන්හි පවතින ජාත්‍යන්තර නැඹුරුව සහ විද්‍යාත්මක පදනම පිළිබඳව ප්‍රධාන දේශන පවත්වන ලදී.
බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ටී. පී. හෙන්ඳවිතාරණ, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. පී. මොල්ලිගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලයේ දේශිය වෛද්‍ය පීඨය සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

