වෛද්‍ය සංගමය හෙට පාරට

වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා ගැටලු සඳහා සාධනීය විසඳුම් ලබාදීමටද,  වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවක හිඟයට හා මර්දනකාරී නීතිරීති හරහා සාධාරණ ඉල්ලීම් මර්දනය කිරීමට දරන උත්සාහයන්ට විරෝධය පළ කිරීමද අරමුණු කොට ගෙන රට පුරා වෛද්‍යවරුන් නොවැම්බර් මස 10 වන දින  විරෝධතාවක නියැළීමට තීරණය කොට ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ,

වසර ගණනාවක් මුළුල්ලේ නොවිසඳුනු සිය වැටුප් සහ දීමනා පිළිබඳව අර්බුදයන් වෙත සාධනීය මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලය මුළුල්ලේම සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු රජය සමඟ සාකච්ඡා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී.

 

ශ්‍රී ලංකාව, සමාන ආර්ථික සංවර්ධනයක් සහිත රටවල් අතරින් ඉහළම සෞඛ්‍ය දර්ශක ළඟා කරගත්  රටක් වෙන අතරම වෛද්‍යවරුන් වෙත අවම වැටුපක් ලබාදෙන රටක්ද වේ. තත්වය එසේ තිබියදී 2022 ආර්ථික අර්බුදය සමග වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා නිකුත් කරන ලද බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර අහෝසි කිරීමද,  රාජකාරී වියදම් ආවරණය කිරීම සඳහා ගෙවනු ලබන දීමනාවන්ද ඇතුළුව සමස්ත වැටුපට අධික බදු පැනවීමද සිදු කරන ලද අතර 2025 රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයේදී වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා සහ නිවාඩු දින දීමනාවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් රටේ ආර්ථිකය යහපත් වූ පසු ගෙවීමේ පොරොන්දුව මත අත්හිටුවන ලදී.

එමෙන්ම 2015 වසරෙන් පසුව සමස්ත රටම ආවරණය වන පරිදි විද්‍යාත්මක දත්ත මත සිදුකරන ලද අනුමත කාර්යමණ්ඩල සංඛ්‍යා සංශෝධනයක් සිදුකර නොමැත. ඉහල මැදි ආදායම් ලබන රටක් ලෙස මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාකාරී සේවයේ නිරත වෛද්‍යවරුන් සංඛ්‍යාව 25000 කටද  අඩු වන අතර විශාල ප්‍රමණයක වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇත. සෞඛ්‍ය සේවාව 2015 වසර සිට මේ දක්වා එහි සේවා පරිමාව මෙන්ම ඒකක සහ ආයතන සංඛ්‍යාවෙන්ද ඉතා විශාල ලෙස වැඩි වූ නමුදු ඊට ගැලපෙන ලෙස වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුමත සේවක සංඛ්‍යා සංශෝධනය වසර 11 ක් තිස්සේ ප්‍රමාද කරමින් පවතින අතර සෞඛ්‍ය සේවකයන් වෙත පැටවී ඇති අධික වැඩබර හේතුවෙන් ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇත.

අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ ස්ථාවරයට අනුව මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති පසුබිමක, 2027 අයවැය යෝජනාව සමඟ මෙම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කරන යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අගෝස්තු මාසයේදී රජය වෙත ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳව සාධනීය සාකච්ඡාවක් ඉල්ලා සිටින ලදී.

මෙම සාධාරණ ඉල්ලීම් කිසිවක් නොසලකා හැරීම මෙන්ම සාකච්ඡාවක් ලබා නොදීමටද විරෝධය පළ කිරීමට සහ ඉහත ගැටලු පිළිබඳ ජනතාව දැනුවත් කිරීමද අරමුණු කොටගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය සතිය පුරා ප්‍රධාන රෝහල් ආශ්‍රිතව විරෝධතා පැවැත්වූ අතර මේ වනතෙක් ඒ පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැත. වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා ගැටලු සඳහා සාධනීය විසඳුම් ලබාදීමටද,  වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවක හිඟයට නිසි කාර්‍ය මණ්ඩල අනුමත සේවක සංඛ්‍යා සංශෝධනයක් හරහා විසඳුම් සැපයීමටද එමෙන්ම මර්දනකාරී නීතිරීති හරහා සාධාරණ ඉල්ලීම් මර්දනය කිරීමට දරන උත්සාහයන්ට විරෝධය පළ කිරීමද අරමුණු කොට ගෙන රට පුරා වෛද්‍යවරුන් නොවැම්බර් මස 10 වන දින කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නියැළීමට තීරණය කොට ඇති අතර මෙම ගැටලු සඳහා සාධනීය විසඳුම් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බලකර සිටී.

Tags:

Leave A Comment