“පෘතුගීසි යුගය“ ගැන ලංකාවේ ස්ථාපිත අදහස සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරවෙනවා – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

අජිත් අමරසිංහ විසින් රචනා කරන ලද “ලංකාවේ පෘතුගීසි සිටි යුගය” පොත මේ සතියේ බදාදා ඒ කියන්නේ නොවැම්බර් 11 පස්වරු තුනට (3.00)ට මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වෙනවා.

ඉතාම කෙටියෙන් කියනවා නම් මේක බරපතල පොතක්. තවත් විදියකට කියනවා නම් 1505 සිට 1594 දක්වා කාලය, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර ලංකාවේ පෘතුගීසි යුගය කියලා කියන එකේ මුල් භාගය සම්බන්ධයෙන් මෙතෙක් ලියවිලා තියන දීර්ඝතම, විස්තරාත්මකම සහ පර්යේෂණාත්මකම පොත තමයි මේක.

ඇත්තටම කිව්වොත් ඔහුගේ මේ පොත මගින් ඔහු කරුණු සහ මූලාශ්‍ර සහිතව පෙන්වලා දෙනවා ලංකාවේ පෘතුගීසි යුගය කියලා එකක් තිබුණා කියලා ජනප්‍රිය මතයක් තිබුණට, එහෙම යුගයක් තිබුණේ නැහැ, ලංකාවේ ඇත්තටම තිබුණේ ‘පෘතුගීසි “සිටි” යුගය’ ක් විතරයි කියලා. ඒ කියන්නෙ පෘතුගීසි ලංකාව පාලනය කළා නෙමෙයි ඇත්තටම ලංකාවේ පෘතුගීසි හිටියා කියන එක.

ඒකෙන් ලංකාවට පෘතුගීසීන්ගෙන් සිද්ධවුනු බලපෑම අවතක්සේරු වෙන්නේ නැහැ, නමුත් ඔවුන් ඇත්තටම ලංකාව සමග පවත්වපු සම්බන්ධතාවයේ ස්වභාවය මොකක්ද කියන එක අපිට පැහැදිලි වෙනවා.

ඒ අනුව මෙතෙක් ඔය පෘතුගීසි යුගය කියන එක ගැන ලංකාවේ ස්ථාපිත වෙලා තියෙන අදහස මේ පොත මගින් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරවෙනවා.

මේ පොතේ විශේෂතා දෙකක් තියෙනවා. එකක් තමයි මේක ලියලා තියෙන විදිය. ඒ කියන්නේ ශෛලිය. පාඨකයාට කතාන්දරයක් කියවනවා වගේ, චිත්‍රපටියක් බලනවා වගේ අනායාසයෙන් කියවන්න පුළුවන් පොතක් මේ. ඒ කියන්නේ බරසාර ශාස්ත්‍රීය පර්යේෂකයන්ට විතරක් නෙවෙයි, සාමාන්‍ය පොදු ජනයාට පවා ගෝචර බසක් හා ශෛලියක් තමයි මේ පොතේ තියෙන්නෙ.

අනිත් විශේෂතාව තමයි ඒ තරම් සුමටව ලියන අතරම කෘතියේ කරුණුමය නිරවද්‍යතාවය සහ ශාස්ත්‍රීය බර රැක ගැනීමට දරලා තියෙන අනලස් පරිශ්‍රමය. මේ පොතේ හිතළු නැහැ, හිතළු විතරක් නෙවෙයි කරුණු සම්බන්ධයෙන් කර්තෘගේ මත හෝ විග්‍රහයන් පවා ඉදිරිපත් කරන්න කර්තෘ උත්සාහ කරල නැහැ. ඒක ඔහු සවිඥානිකව ගත්තු තීරණයක්. ඉතිහාස පර්යේෂකයෙක් විදිහට තමන්ගේ කාර්යය කරුණු නිවැරදිව දැක්වීම විතරයි, ඒ පිළිබඳව විග්‍රහයන් කර ගැනීම අනෙකුත් පර්යේෂකයන්ට භාරයි වැනි අදහසක් තමයි ඔහුට තියෙන්නේ. ඒ අනුව මේ පොත කතෘගේ මැදිහත්වීම අඩුවෙන්ම දකින්න පුළුවන් පොතක්.

සාමාන්‍යයෙන් අජිත් අමරසිංහ කියන නම සඳහන් කරද්දී “විශේෂඥ වෛද්‍ය” කියන විශේෂණයත් එක්ක තමයි හැමෝම ඔහුගෙන් නම කියන්නේ. මම හිතා මතාමත්ම සටහනේ ඒක නොකළේ, ඔහුගේ ප්‍රමුඛ අනන්‍යතාව බවට දොස්තරකම වෙනුවට ඉතිහාස පර්යේෂකයා කියන එක පැහැදිලිවම පත්වෙමින් තිබෙන බව පෙනෙන නිසයි.

ඒ අනන්‍යතා මාරුව අහම්බයක් හෝ ඔහුගේ වාසනාවට පමණක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක පිටුපස විශාල ශ්‍රමයක් සහ බුද්ධිමය කුසලතාවක් තියෙනවා. කෙටියෙන් කියනවා නම් විශ්වවිද්‍යාලවල වෘත්තිය විදිහටම ඉතිහාසඥයන් වී සිටින ගොඩක් අයට වඩා ඉතිහාස විෂය සම්බන්ධයෙන් ඔහුගේ දායකත්වය විශාල බව කිව යුතුයි.

ඔහුගේ පළමු ඉතිහාස කෘතිය වූ “ලංකා ඉතිහාසයෙන් වසන් කළ චීන මෙහෙයුම” පොත ඔහුගේ පර්යේෂණශීලී භාවයට හොඳම සාක්ෂියක්. ඒ යුගය ගැනත් ඒ සිදුවීම ගැනත් ලංකාවේ ලියවිලා තියෙන හොඳම පොත ඒක බව මම හිතන්නේ ගොඩක් දෙනෙක් පිළිගන්නවා. ඔහුගේ පොත වූ “ෆයින්ඩින් සිංහබාහු” කෘතියක් රාජ්‍ය සම්මාන සඳහා පවා නිර්දේශ වුණා.

ඒ පොත් දෙකමත්, මේ පොතත් කියවලා තියෙන කෙනෙක් විදියට මට සහතික වශයෙන් කියන්න පුළුවන් දේ තමයි ඔහුගේ පොත් තුන අතරිනුත් අග්‍රස්ථානයෙහි ලා සැලකිය හැකි පොත වන්නේ “ලංකාවේ පෘතුගීසි සිටි යුගය” කියන මේ පොත බව.

| Dr-Ajitha-Amarasinghe
| අජිත් අමරසිංහ

මේ පොත ලබන බදාදා (11) සවස තුනට (3.00) මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වෙනවා. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය කරුණාරත්න පරණවිතාන ප්‍රධාන දේශන පවත්වනවා. වෛද්‍ය සංකල්ප මාරසිංහ සභාව මෙහෙයවනවා.

වර්තමානයේ දී ඉතිහාස ශාස්ත්‍රඥයෙන් අතර සිටින ප්‍රමුඛයකු වන නිර්මාල්, අජිත් අමරසිංහ ලංකාවේ ඉතිහාස විෂයට කර ඇති දායකත්වය පිළිබඳව කරන ඉහළ අගය කිරීම් පෞද්ගලිකවම මම අහලා තියෙනවා. මේ පොත ගැන ඔහු කියන්නේ මොකක්ද කියන එක එදාට අහන්න පුළුවන් වෙයි. කරු පරණවිතාන, ආචාර්ය කරු පරණවිතාන වීමෙන් පසුව කරන පළමුවැනි ශාස්ත්‍රීය දේශනය මේකයි. ඒක හොඳ අවස්ථාවක්. සංකල්ප මාරසිංහ කියන්නේ අවම වචන භාවිතයක් සහිතව ඉතාම මෘදු ලෙස සභාව මෙහෙයවන්නෙක්.

ඒ නිසා පොත වගේම මේ උත්සවයත් ලස්සන අවස්ථාවක් වෙයි කියලා හිතනවා.

| අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

Leave A Comment