බිම්ස්ටෙක් මහලේකම්වරයා සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මෙරටදී පැවැත්වෙන ප්‍රථම බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සමගාමීව (10) දින පැවැති බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රථම හමුවෙන් අනතුරුව, එම සංවිධානයේ මහලේකම්  ඉන්ද්‍ර මනී පාණ්ඩේ මහතා ප්‍රමුඛ සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවිය.

මෙහිදී අමාත්‍යවරයා සහ බිම්ස්ටෙක් මහලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිස අතර සුහද අදහස් හුවමාරුවක් සිදු වූ අතර, සාමාජික රටවල සෞඛ්‍ය සේවා පද්ධතිවල ක්‍රියාකාරීත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම මෙන්ම කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සහ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, බිම්ස්ටෙක් සෙසු සාමාජික රටවල් නියෝජනය කරමින්  නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

 

 

Leave A Comment