ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයෙන් (NUSS) කාන්තා දින සැමරුමක් (Photo)

“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (IOM) ප්‍රධාන විගමනික සෞඛ්‍ය නිලධාරිනී Dr. Simonette Deasis මහත්මිය සහභාගී වූ අතර, වැඩකරන කාන්තාවන් මුහුණ දෙන අභියෝග සහ ඒවා ජයගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

උත්සවය ආරම්භ කරමින් කිරුළ පාරේ සිට නාරාහේන්පිට පිහිටි NUSS කාර්යාලය දක්වා විවිධ වෘත්තීන් නියෝජනය කරන කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් අභිමානවත් පා ගමනක් පැවැත්විණි. අනතුරුව පැවැති සභාව අමතමින් Dr. Simonette Deasis මහත්මිය අවධාරණය කළේ, රට ගොඩනැගීමට දහඩිය හෙළන සියලු ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ අයිතීන් සුරකිමින් ඔවුන්ට සුදුසු යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම වෘත්තීය සමිතියක මූලික අරමුණ විය යුතු බවයි.

මෙම සැමරුම් උත්සවය සඳහා ක්ෂේත්‍ර රැසක වැඩකරන කාන්තාවන් සහභාගී වීම විශේෂත්වයක් විය.

ඒ අතර:

  • සමුද්‍ර නාවික සහ වරාය ක්ෂේත්‍රයේ සේවිකාවන්
  • ගොඩබිම් සහ ගබඩා අංශයේ සේවිකාවන්
  • ත්‍රිරෝද රථ රියදුරු වෘත්තියේ සහ ජංගම දුරකථන ඇප් හැර භාණ්ඩ බෙදාහැරීමෙ නිරත දිරිය කාන්තාවන්
  • සාත්තු සේවා වෘත්තිකයන් (Caregivers) ඇතුළු විවිධ වෘත්තීන් වල නිරත කාන්තාවන් පිරිසක් සහභාගී වුණා

මෙහිදී තමන් එදිනෙදා වෘත්තීය සහ සමාජීය ජීවිතයේදී මුහුණ දෙන ආර්ථික හා සමාජයීය ගැටලු මෙන්ම,  සිය ක්ෂේත්‍රයන් තුළ කාන්තාවන් ලෙස ස්වකීය අනන්‍යතාවය ගොඩනඟාගත් ආකාරය පිළිබඳව එම වෘත්තිකයන් විසින් අදහස් දක්වන ලදී.

මෙම අවස්ථාවට කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කම්කරු කොමසාරිස් තමරිකා හර්ෂණී මහත්මිය, කම්කරු ප්‍රමිති අංශයේ සහකාර කොමසාරිස් N.R. රණවක මහත්මිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නියෝජිතයින් සහ වෘත්තීය සමිති නායක නායිකාවන් රැසක් ද සහභාගී වූහ.

වැඩකරන කාන්තාවගේ වෘත්තීය ගරුත්වය උදෙසා NUSS සංගමය විසින් ඉටුකරනු ලබන කාර්යභාරය ඇගයීමට ලක්වූ මෙම උත්සවය, ශ්‍රී ලාංකේය කාන්තා ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ තීරණාත්මක පියවරක් ලෙස සනිටුහන් විය.

ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් පෙරේරා මහතා සභාපති පාලිත අතුකෝරාල මහතා ඇතුළු පිරිස විසින් මෙය සංවිධානය කරන ලදි.

Leave A Comment