ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුවේ සමාරම්භය සනිටුහන් කෙරේ

මුළු ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී  (11) දින ආරම්භ විය.

“නිවර්තන කලාප වලින් මාතෘකා” topics from tropics යන්න තේමා කරගනිමින් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී  සමාරම්භය සනිටුහන් කළ  මෙම ජාත්‍යන්තර සමුළුව 2026  මාර්තු 11 සිට  මාර්තු  14  දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

ජර්මනිය, ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ට්‍රෙිලියාව, නවසීලන්තය වැනි රටවල් ඇතුළු රටවල් 25 ක් නියෝජනය කරමින්  චර්ම රෝග ක්ෂෙත්‍රයේ  විදේශ  නියෝජිතයින්, විශේෂඥයින් සහ වෛද්‍යවරුන්  342 ක් පමණ මෙවර සමුළුවට‌ සහභාගී වෙමින් සිටිති.

එමෙන්ම මෙම ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  චර්ම රෝග විශේෂඥයින්  සහ  සම්පත් දායකයින්  150 පමණ එක් වීමද විශේෂයකි.

මෙම සමුළුව සමස්ත ලෝකයේම අවධානයට ලක් වන සමුළුවක් වන අතර  සමුළුවෙන් පසු එළඹෙන තීරණ සම්බන්ධයෙන්  මුළු ලෝකයේම  අවධානය යොමුවනු ඇත. සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ විදේශ සම්පත්දායකයින් 45 දෙනෙක්  චර්ම රෝග ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා  හා  සොයාගැනීම්  පිලිබඳ දේශන පවත්වනු ඇත.

මෙම සමාරම්භක සමුළුවේ ප්‍රධාන දේශණය සිදු කරමින් ජාත්‍යන්තර සමේ රෝග පිළිබඳ පදනමේ සභාපති, එක්සත් රාජධානියේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Claire Fuller මහත්මිය කියා සිටියේ   ශ්‍රී  ලංකාව යෙදවුම් ප්‍රමාණයට වඩා වැඩි ඵලදායිතතාවයක් පෙන්නුම් කරන බවයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ ප්‍රගතිය සම්බන්ධව ද දැඩි ප්‍රසාදය  ද පළ කරන ලදි.  සමුළුවේ සම සභාපති මහාචාර්ය Helmut Schofer මහතා ප්‍රකාශ කළේ මෙම සමුළුවෙන් පසු ලෝකයේ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් අතර ක්ෂේත්‍රයට වැදගත්වන නව දැනුමක් හුවමාරු කර ගැනීමට හැකි වන බවයි.

ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග සුවිශේෂී වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දී ඇති  අවධානය යොමු නොවන රෝග 10 න් 07 ක්ම ඝර්ම කලාපීය රටවල තිබෙන සමේ රෝග වලට අයත් වේ.   ලෝකයේ බිලියන 04 කට වඩා වැඩි ප්‍රමාණයකට සමේ රෝග වන බව සොයාගෙන ඇත.

සමුළුවේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ චර්ම රෝග පිළිබඳ ජර්මන් ජාතික විශේෂඥයින්ගේ  එකමුතුව විසින් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති  සහ  ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි සමුළුවේ සභාපති චර්ම රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය  නයනි මදරසිංහ මහත්මිය‍ ඇතුළු ශ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සමාජික සාමාජිකාවන් දේශීය සහ විදේශීය විශේෂඥයින්, පර්යේෂකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Comment