රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්‍රේල් 21දා සිට අඩාලයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ එම යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.

තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වන්නේ යන්ත්‍රය නඩත්තුවට අවශ්‍ය අමතර උපාංග මේ වන විට ලංකාවට ආනයනය කර ඇතත් එම අමතර කොටස් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිඛිත අනුමැතිය නොලැබීමයි. මේ වන විට සතියකට වැඩි කාලයක් එම අමතර කොටස් රේගුව තුළ නිදහස් කර ගත නොහැකිව පවතී.

කුඩා දරුවන්ගේ MRI ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමේදී නිර්වින්දනය කිරීමක් බොහෝවිට අවශ්‍ය වන අතර එම පහසුකම් සහිතව පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව මෙම රෝහල සතුව පැවතිණි. දැනට ලංකාවේ පවතින විශේෂිත වූ ළමා රෝහල් දෙකෙන් මේ වන විට MRI scan පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් පවතින්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පමණක් වන අතර මෙම රෝහල දරුවන් 10 – 12අතර ප්‍රමාණයක scan පරීක්ෂණ ප්‍රමාණයක් දෛනිකව(දිවා කාලයේ පමණක් පරීක්‍ෂණ සිදුකෙරේ) සිදුකරන ලදී.

මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI scan පරීක්ෂණ සිදු කිරීම සඳහා මාස 10 ට වැඩි පොරොත්තු ලේඛනයක් පවතින අතර පුද්ගලික අංශයෙන් කුඩා දරුවන්ගේ MRI පරීක්‍ෂණයක් සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් වැය වෙයි.

යන්ත්‍රය නඩත්තුවට අදාළ අමතර කොටස් කඩිනමින් රේගුවෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ නියාම අධිකාරියේ අනුමැතිය ලබාදීමේ ප්‍රමාදය මගහැර කඩිනම් කිරීම සඳහා මැදිහත් වන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

චානක ධර්මවික්‍රම

සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
2026.05.21

Leave A Comment