උතුරේ දූපත්වල ජනතාවගේ සෞඛ්‍ය සේවාවන්  ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව්  යන  දූපත් සහ ඒ ආශ්‍රිත  ප්‍රදේශවල (28) දින විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.

දූපත්වල  ජනතාවට සපයනු ලබන සෞඛ්‍ය සේවාවන්හි වත්මන් තත්ත්වය සෘජුව ඇගයීමට ලක් කිරීම, පවතින අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා කඩිනම් හා දිගුකාලීන විසඳුම් සැලසුම් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.

මෙහි දී අමාත්‍යවරයා ඩෙල්ෆ් සහ  අනලයිතිව්  දූපත් රෝහල් පෞද්ගලිකවම නිරීක්ෂණය කරමින් එම රෝහල්වල වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසීන් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගනු ලැබීය. එහි දී ඖෂධ සැපයුම, වෛද්‍ය උපකරණ, මානව සම්පත්, හදිසි රෝගී ප්‍රවාහන පහසුකම්, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා, බෝවන සහ බෝ නොවන රෝග පාලනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්  පිළිබදව අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සහ කාර්යමණඩලය සමග ඉතා දීර්ඝ කරුණු සොයා බලන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී  අවධාරණයකර සිටියේ  විශේෂයෙන්ම මුහුදු ප්‍රවාහනය මත රඳා පවතින උතුරු පළාතේ දූපත් වල වෙසෙන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවා ප්‍රවේශය තවදුරටත් කාර්යක්ෂම කිරීම, අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ මානව සම්පත් ශක්තිමත් කිරීම මෙන්ම ඉතා දූරස්ථ ප්‍රදේශවල ජනතාවටත් ප්‍රධාන භූමියේ ජනතාවට හිමිවන සේම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම රජයේ අරමුණ  බවයි.

සෞඛ්‍ය සේවාව යනු භූගෝලීය සීමාවන්ට යටත් නොවන මූලික අයිතිවාසිකමක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, දූපත් ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් යටිතල පහසුකම්, මානව සම්පත් සහ වෛද්‍ය සේවා තවදුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද මෙහිදී අවධාරණයෙන් පැවසීය.

Leave A Comment