සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

මෙරට ක්‍රියාත්මක නිදහස්  සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින්, සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මරදාන ටවර් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම බඳවාගැනීම මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසයට එක්වන සුවිශේෂී අවස්ථාවක් වන අතර, කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව සම්පූර්ණයෙන්ම අයදුම්පත් කැඳවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය මත පදනම්ව සිදුකළ සෞඛ්‍ය කාර්ය සහායක බඳවාගැනීමක් ලෙස ඉතිහාසගත වේ. මෙය රාජ්‍ය සේවයේ විනිවිදභාවය, සාධාරණත්වය සහ කුසලතා පදනම් මත පත්කිරීම් ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කරන ආදර්ශමත් පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම 627කින් සමන්විත සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනයවන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුත්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අපේ ආර්ථකයට අනුව රාජ්‍ය සේවයට බඳවා ගත හැකි ප්‍රමාණය බඳවා ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බව පැවසීය. එහි දී තිබෙන පුරප්පාඩු ප්‍රමාණය සලකා බලමින් මේ වනවිටත් 160,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට එක් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අතීතයේදී සෞඛ්‍ය කාර්ය සහායකයන්, පාසල් මුරකරුවන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් ඇතුළු රාජ්‍ය සේවයට බඳවා ගැනීම් බොහෝ අවස්ථාවල දේශපාලන මැදිහත්වීම් මත සිදු වූ බව මෙහි දී සිහිපත්කළ අමාත්‍යවරයා එම බඳවා ගැනීම් සඳහා ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් විසින් නාමලේඛන සකස් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්ව තිබූ අතර, ඒ හේතුවෙන් රාජ්‍ය සේවය තුළ දේශපාලනීකරණය තහවුරු වූ බවද පෙන්වා දුන්නේය.

Leave A Comment