ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව “අකල්හි මාරුත” – සමාජ නිර්මිත ප්‍රවාදයක් ගැන ප්‍රති කියවීමක්ද?

සමාජ නිර්මිත ප්‍රවාදයන් හෝ ඇතැම් ප්‍රපංචයන් මෙන්ම ඒවා පිළිබඳව වන කියවීම්ද අවබෝධ කරගත හැක්කේ ප්‍රති-කියවීම් තුළින්ය. ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව වන අකල්හි මාරුත සිංහල නවකතා පාඨකයන්ට ලබා දෙන්නේ එවැනි ප්‍රති-කියවීමක අත්දැකීමය.

විදර්ශන ප්‍රකාශනයක් ලෙස පළ වී ඇති අකල්හි මාරුත ලසන්තගේ තෙවන නවකතාවයි. ඔහුගේ මුල්ම නවකතාව වන “අගත අනගත” පාඨක විචාරක අවධානය දිනාගත් අතර ස්වර්ණ පුස්තක දෙවැනි අවසන් වටයට නිර්දේශ විය.

හුදු ලාභ ප්‍රේමලාපයක් නොවන “කඳුළු එක්ක චියර්ස්” නම් ලසන්තගේ දෙවැනි නවකතාවද මනරම් බසකින් කතා වින්‍යාසය ගොඩනැගීම හා සෞන්දර්යාත්මක බව නිසා සිංහල නවකතා කියවන්නන්ගේ ප්‍රසාදයට හේතු විය.

ඔහු මෙවර “අකල්හි මාරුත” නම් මේ තෙවැනි නවකතාවෙන් පාඨක ඔබ අප හමුවන්නේ, ජනප්‍රිය කතිකාවක නැතහොත් ප්‍රවාදයක අප ඇස නොගැටෙන හෝ අපගේ කල්පනාවට භාජනය නොවන පාර්ශවයක් විදාරණය කරමිනි.

ලසන්තගේ කතා කීමේ කලාවේ සුවිශේෂත්වය වන්නේ එකවර ලේයර හෙවත් තල කිහිපයක් දිගේ දිවෙන ලෙස කතාව ගෙතීමට ඇති හැකියාවයි. ඇතැම් විට එම ලේයර කාල අන්තර කිහිපයකට අයත් වේ. අගත අනගත නවකතාවෙහිදීද භාවිතා වූ එම ශිල්ප ක්‍රමය ඔහු සිය තෙවන නවකතාව වන අකල්හි මාරුත ලිවීමේදීද භාවිතා කොට ඇත.

ඉතා මෑතක සමාජගත වූ මලයහම් ජනයා පිළිබඳ කතිකාව තුළ යටපත් වූ නැතහොත් ඉස්මතු වීම වළක්වාලන ලද තවත් පැතිකඩක් ඔහු මෙම කෘතියෙන් පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ පළමුව කෝපි, සහ දෙවනුව තේ වගාව පිණිස ඉන්දියාවෙන් කැඳවාගෙන ආ විවිධ කුලවලට අයත් දෙමළ ජනතාව ලංකාවේ වතු ආර්ථිකය සවිමත් කළ බව සත්‍යයකි. එසේම අද වනතුරු ඉතා අඩු වැටුප් සහ අවම ජීවන පහසුකම් අත්විඳිමින් එම ජනයා මෙරට ආර්ථිකයෙහි වැදගත් පංගු කරුවන් පිරිසක් ලෙස කටයුතු කරති. මෑත කාලයේ, ඔවුන්ගේ අයිතීන් පිළිබඳව කැපවීමෙන් මෙන්ම උනන්දු සහගතව පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයින් මලයහ මක්කල් හෙවත් කඳුකර ජනයා යන හැඳින්වීමෙන් වතුකරයේ එම ශ්‍රමික ප්‍රජාව යළි නාමකරණය කරන්නට යෝජනා කළ පළමු පාර්ශ්වයයි. අද වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ද සිය කතා, වාද විවාද, වාගාලාප සියල්ලෙහිදී මෙකී නව නාමකරණය භාවිතා කරයි. එහෙත් අලුත් නමක් ලද පමණින් වතුකරයේ ශ්‍රමික ජනයාගේ සියලු ප්‍රශ්න හිරු දුටු පිණි මෙන් වියැකී ගොස් අවසන්ව ඇතිදැ’යි විමසා බැලීම සමාජයීය වශයෙන් මඟ හළ නොහැකි වැදගත් කාර්යයකි.

| ලසන්ත ද සිල්වා
| ලසන්ත ද සිල්වා

සාහිත්‍ය කරුවෙකු ලෙස ලසන්ත ද සිල්වා “අකල්හි මාරුත” නවකතාවෙන් එම සමාජමය කාර්යයට යම් පමණකින් උත්තේජනයක් ලබාදී ඇතැයි ඔහුගේ එම නවකතාව කියවන විට හැඟේ.

ඔහුම සිය කෘතියෙහි පෙරවදනේ සඳහන් කර ඇත්තේ තත්කාලීන සමාජ දේශපාලන ප්‍රපංචයන්ගෙන් බැහැරව සිටීමට නිර්මාණකරුවාට නොහැකි බවයි. ඇතැම් විචාරවේදවල කවරාකාරයෙන් අර්ථ ගැන්වූවද සාහිත්‍ය නිර්මාණ යනු හුදු සෞන්දර්ය රසය උත්පාදනය සඳහා පමණක් වූවක් නොවේ.

මෙම නවකතාවේ, පසුකාලීනව මලයහම් ජනයා ලෙස යළි නාමකරණය කෙරෙන ජන පරම්පරාවක පුරෝගාමීන්ගේ අතිශය දුක්ඛිත ජීවනාන්දරය දිගහැරෙයි. වර්ජනියා වුල්ෆ් ලියූ තිත්තකෝපි නවකතාවේ හෝ ඇතැම් සිංහල නවකතාවක තරමක් දුරට ස්පර්ශ කොට ඇති ඉන්දීය දමිළ ජනයාගේ ලංකාගමනය පිළිබඳව වඩා සෞන්දර්යාත්මකව හා මානුෂවාදීව ලියන්නට ලසන්ත සමත් වී ඇති බව පෙනේ.

ඔහු එම ජනයා පිළිබඳව ලියන ආකාරය හුදු ප්‍රබන්ධයකට එහා ගිය සැබෑවක් බව පෙන්නුම් කරයි.

ලේඛකයෙකු සිය ලිවීමේ ශිල්ප ක්‍රම කවර ආකාරයට අභ්‍යාස කළද, එතරම් විශ්වාසනීය අන්දමින් පරිකල්පනය කරන්නට පාඨකයාට අවස්ථාව ලබා දෙන්නේ කරුණු පර්යේෂණාත්මකව ග්‍රහණය කර ගැනීමෙන් පසු ලිවීම තුළිනි.

ලසන්තගේ පෙර කෘතිවලදීද පර්යේෂණාත්මක කරුණු අඩංගුව, කැපී පෙනුණු අතර පාඨකයා ඔහු ලියා ඇති දේ සැක නොකිරීමට එය හේතුවකි.

ලංකාවේ අලුතෙන් වගා කෙරෙන වතු වැවිලිවල මෙහෙවර කරන්නට එක්දහස් අටසිය ගණන්වලදී දකුණු ඉන්දියාවෙන් ආ කම්කරුවන්ගේ දුක්ඛදායක ජීවිතය ලේඛකයා විදාරණය කරන්නේ සින්න පොන්නු නමැති දැරියක හා ඇගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවන අන්දරය ලෙසිනි.

අවසානයේ ලාංකීය සමාජයේ වෙසෙන අපට වසර දෙසීයකට පසුවද හමුවන්නේ එදා මෙහි ආ ඒ සින්න පොන්නුලාමය.

එසේම මේ කතාව, කියවන අප මලයහ මක්කල් නව නාමකරණය ප්‍රති කියවීමකට ලක් කළ යුතු යැයි සිතන්නට පොළඹවන්නේ සමකාලීනව විසූ තවත් ජන කොට්ඨාසයක ඉරණම විදහා දක්වන ද්වීතලයක්ද මෙම නවකතාවේ කියවන්නට ලැබීම නිසායි. එක්දහස් අටසිය ගණන්වලදී ලංකාවේ කන්ද උඩරට ජීවත් වූ හරඹා රන්කෙඳි වැනි සිංහල ගොවි ගම්මුන්ගේ ජීවිත යටත් විජිත වැවිලි ආර්ථිකය හේතුවෙන් විපරිවර්තනය වූ බවද අතිශය නිර්දය ලෙස මර්දනය කළ කැරලි දෙකක් හේතුවෙන් ඔවුන්ගේ පැවැත්ම සඳහා බලපෑ ඇතැම් සාධක සුන්නත් දූලි වූ බවද රහසක් නොවේ.

එහෙත්, වතුකර ශ්‍රමික ජනයා කඳුකර ජනතාව හෙවත් මලයහම් මක්කල් ලෙස යලි නාමකරණයේදී එකල විසූ සිංහල ගැමි ජනයා විතැන් වූයේ ඇයිද යන්න ලසන්තගේ නවකතාව කියවීමෙන් පසු කල්පනා කිරීමට ඉතුරු වන බලවත්ම ප්‍රශ්නයයි.

එකී ප්‍රශ්නය වර්ගවාදී කෝණයකින් ග්‍රහණය කරගත යුතු නැත.

මේ ලංකාවේ දේශපාලනයේ ස්වභාවයයි. නව වාර්ගිකත්වයන් නිර්මාණය කරන්නේද දේශපාලන වුවමනාවට බව ලසන්ත සියුම්ව අකල්හි මාරුත නවකතාවෙන් පෙන්වා දෙන්නට උත්සාහ ගනියි. එය සිදු කරන්නේ දේශපාලන පක්ෂ පමණක්ම නොවේ. ඇතැම් විට ඒ පිටුපස සිටින්නේ රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයින් හෝ අරමුදල් සපයන්නන්ය. නැතහොත් ඇතැම් ආගමික කල්ලි කණ්ඩායම්ය. ඔවුහු කුඩා දූපත් රාජ්‍යයක දේශපාලන ඉරණම තීන්දු කරන්නෝය.

මේ නවකතාවේ වර්තමානය කියැවෙන ලේයරය පූර්ව කතාවේ සමගාමී ලේයර් තරම් රසකාමී නොවුවද එමඟින් ඒ දේශපාලන යථාර්ථය හෙළි කරන්නට උත්සාහ ගනියි. ලේඛකයා මතුපිට තලය එතරම් රස ගන්වන්නට උත්සාහ ගෙන නැත්තේද ඒ කටුක දේශපාලන යථාර්ථය හෙළිදරව් කිරීමේ අභිලාෂයෙන් විය යුතුය.

ලසන්තගේ සෑම නවකතාවකම පාහේ ඔහුගේ සෙවනැල්ලද පතිත වී ඇති බව දකින්නට ලැබේ. අකල්හි මාරුත නවකතාවෙහි වත්මනෙහි වෙසෙන මාධ්‍යකරුවාද කවියාද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයාද ඔහු හා ඔහුගේ මිතුරන්ගේ චරිත ඇසුරෙන් ගොඩනැගෙන්නට ඇතැයි සිතේ. ඒ චරිත ඇතැම් තැනක ස්වයං ආලේඛ්‍ය සිතුවමක රසය දනවයි. එසේ වුවත් චරිත ගොඩනැංවීමේදී ඔහු වඩා ඉහළ රසයක් ජනිත කරන්නේ පෙර කතාවේ සින්න පොන්නු හරඹා හා රන්කෙඳීගේ චරිත ඇසු⁣රේය. එහිදී ලසන්ත ද සිල්වා සිය භාෂා කෞශල්‍යය මැනවින් යොදා ගනී. ඔහුගේ පෙර නවකතාවලදීද මේ විශිෂ්ට භාෂා භාවිතය දක්නට ලැබුණි.

අගත අනගත නවකතාවෙහි ඇතැම් පරිච්ඡේදයක තරම් සංකීර්ණ භාෂා රටාවක් අකල්හි මාරුත හි දක්නට නැතත් එහි බස කඳුළු එක්ක චියර්ස් නවකතාවට වඩාද සපුරා වෙනස්ය. මෙලෙස කිසියම් ලේඛකයෙකු තමන්ගේ රචනා සහ භාෂා ශෛලිය විවිධ අන්දමින් භාවිතා කිරීම සඳහා කරන අත්හදා බැලීම් අගය කළ යුතුය.

අකල්හි මාරුත නවකතාව නවතම සමාජ ප්‍රවාදයක් ප්‍රති-කියවීමට යෝජනා කරන අතර ඉතා රුචිකර සහ වෙහෙසකාරී නොවන කියවීමේ අත්දැකීමක් පාඨක ජනයාට ලබා දෙන අන්දමද පුදුම සහගතය. ඒ මෙම නවකතාව එක හුස්මට කියවාගෙන යන්නට තරම් රුචිකර වීම නිසාම සිදුවන්නක් බව කිව යුත්තකි. ඒ සඳහා බලපාන හේතුව වන්නට ඇත්තේ ලසන්තගේ භාෂා භාවිතය සහ මේ රචනයේ වන සෞන්දර්යාත්මක පෙළගැස්මයි. ඔහුගේ කතා වින්‍යාසය ග්‍රහණය කර ගත් පසු ඒ සමග ජීවත්වෙමින් ඉදිරියට යන්නට පාඨකයා තුළ පෙළඹවීමක් ඇතිවේ. ඉදින් ඔබ ලසන්තගේ වදන්වලින් දකින්නේ යටපත් කරන්නට උත්සාහ ගන්නා යමක් සහ සැබෑ විසඳුමක් වෙනුවට පැළකරන යමක් විය හැකිය.

එබැවින් විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදුටු අකල්හි මාරුත නවකතාව සිංහල නවකතා ලෝකයට නිසි කල හමා ආ සිහිල් පවනක් වනු ඇත.

| රුවන් මීගම්මන
| රුවන් මීගම්මන

 

Leave A Comment