ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා

ආසියාවේ අන්තර්ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින් බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවිය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්‍රය යන අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

2026 ඔක්තෝබර් 14 සහ 15 යන දෙදින අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වෙන CICA 7 වැනි සමුළුව සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි. “ශකිමත් CICA සංසදයක්: ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා CICA සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ අතර කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය යන රටවල නියෝජිතයන් ද ඇතුළත් වේ. එමෙන්ම සත්කාරක රට වන අසර්බයිජානයේ නියෝජිතයන් සහ CICA මහලේකම්වරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය තුළින් ආසියානු කලාපයේ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම වේගයෙන් වර්ධනය වන මධ්‍යම ආසියානු ආර්ථිකයන් සමඟ නව ආර්ථික සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමට ද මෙය වැදගත් අවස්ථාවකි.

CICA යනු ආසියානු කලාපය තුළ සහයෝගීතාව වර්ධනය කිරීමත්, සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගත් ආසියාවේ විශාලතම කලාපීය අන්තර් රාජ්‍ය සංසදයයි.

Leave A Comment