කුඩා පරිමාන වතුවල කාර්ය මණ්ඩල වැටුප වැඩි කරන්න – CESU

  • ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජාතික කම්කරු උපදේශක සභාවට කියයි !

පෞද්ගලික අංශයේ කුඩා පරිමාන වතුවල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් හා සේවා කොන්දේසි රාජ්‍ය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් අත්සන් තබන වර්ථමාන  සාමූහික ගිවිසුමෙන් ආවරණය නොවන බැවින් ඔවුන්ට සාධාරණ වැටුපක් ලබාදීමට පඩි පාලක සභාවන් පිහිටුවන ලෙස ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ ජාතික කම්කරු උපදේශක සභාවට (NLAC) යෝජනා කර සිටියේය.

ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙම යෝජනාව ගෙන එන ලද්දේ ඔක්තෝබර් 07 දින කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කම්කරු මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වුණු අවස්ථාවේදීය.

මෙම කුඩා පරිමාන පෞද්ගලික වතුවල සේවයේ නිරතව සිටින වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් වර්ථමාන ජීවන වියදමට නොගැලපෙන වැටුප් ලබමින්,  අවාසිදායක කොන්දේසි යටතේ විවිධ තාඩන පීඩන වලට මුහුණ දෙමින් රැකියාවල නිරතව සිටින බවත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම තත්ත්වයෙන් පීඩා විඳින මෙම පිරිසට වැටුප් වැඩිකිරීමට  නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතු බවත්,ඔවුන්ට  සාධාරණය ඉටුකිරීමේ වගකීම පැහැර හැරිය නොහැකි කාරණයක්  බවත් ජාතික කම්කරු උපදේශක සභාව හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් වරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත,නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් , කම්කරු අමාත්‍යංශ ලේකම්,කම්කරු කොමසාරිස් ජනරාල් සහ අමාත්‍යාංශ නිළධාරීන්, ලංකා සේව්‍ය සම්මේලනය ඇතුළු සේව්‍ය නියෝජිතයින් සහ වෘත්තීය සමිති නායකයින් සහභාගීව සිටියහ.

ජාතික කම්කරු උපදේශක සභාව රජය,සේව්‍යා සහ සේවකයා යන ත්‍රෛයි පාර්ශවය නියෝජනය කරනු ලබන නෛතික  ආයතනයකි.

Leave A Comment