PSTA වඩාත් හොඳින් මර්ධනයට අත්වැලක් බව CMU ජනාධිපතිවරයාට ලියා දන්වයි

1979 සිට ක්‍රියාත්මක, අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීමට ඔබ ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ අපගේ සතුට ප්‍රකාශ කර සිටින අතර, ඒ හා සමාන හෝ තවත් බැරෑරුම් විධිවිධානයන් ඇතුළත් තවත් පනතක් ගෙන ඒමට ඔබ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කොට ඇති ගැසට් නිවේදනය පිළිබඳව වඩාත් කනස්සල්ලට පත්ව සිටින බව අවධාරණය කරමින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

අංක 48,1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීම සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම නමින් නව පනතක් ගෙන ඒමට දරණ උත්සාහය

1979 සිට ක්‍රියාත්මක, අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීමට ඔබ ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ අපගේ සතුට ප්‍රකාශ කර සිටිමු. එහෙත් ඒ වෙනුවට ඒ හා සමාන හෝ තවත් බැරෑරුම් විධිවිධානයන් ඇතුළත් තවත් පනතක් ගෙන ඒමට ඔබ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කොට ඇති ගැසට් නිවේදනය පිළිබඳව වඩාත් කනස්සල්ලට පත්ව සිටිමු.

1979 සිට ක්‍රියාත්මක වූ පනත හේතු කොටගෙන, අප රටෙහි සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ඔබ හට අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නොවන බව සිතමු. මන්ද එම පනත යටතේ බරපතල ගණයේ මර්ධනයන්ට සහ මානව හිමිකම් උල්ලංඝන වලට මුහුණ දුන් පාර්ශව අතරේ ඔබගේ පක්ෂ සාමාජිකයින් ද සිටි බව නොරහසකි.

ඔබ විසින් ප්‍රකාශයට පත්කොට ඇති පනත් කෙටුම්පත කියවා බලන විට පැහැදිලි වනුයේ, ඔබ විසින් මවා පෙන්වා ඇති “ත්‍රස්තවාදයක්” රට තුළ නොමැති අතර, එවැනි “ත්‍රස්තවාදයක්” මතු වීමට ඉඩ නොතිබුණත්, පසුගිය ආණ්ඩු මෙන්ම ඔබගේ ආණ්ඩුව ද ආණ්ඩු විරෝධී පුද්ගලයන් හෝ බලවේගයන් තම ප්‍රජාතන්ත්‍රවාදී, මානුෂික අයිතිවාසිකම් උපයෝගී කර ගනිමින් විරෝධතාවයන් හෝ උද්ඝෝෂණයන් වල යෙදෙන විට ඒවා මර්ධනය කිරීම සඳහා මෙම පනත උපයෝගී කර ගැනීමට ඔබ හට අවශ්‍ය වී ඇති බවය.

මෙයට හොඳම නිදසුනක් වී ඇත්තේ, පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේ නියෝගය මත රඳවා තබා ගැනීමට පොලිසිය විසින් දැනටමත් පවතින පනත උපයෝගී කර ගැනීම බහුලව දක්නට ලැබීමයි.

1979 සිට වසර 50 කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති සියළු ආණ්ඩු විසින් උපයෝගී කරගත් මෙම පනත සුභදායී ප්‍රථිඵල ගෙන දෙනවා වෙනුවට, ඔබ විසින් පෙන්වා දෙන “ත්‍රස්තවාදී ක්‍රියා” තව තවත් වර්ධනය වීමට මඟ සැලැස්විය හැකි බව පැහැදිලි වේ.

ඔබ විසින් සඳහන් “ත්‍රස්ත ක්‍රියා” මැඬලීමට රටෙහි වර්තමානයේ ක්‍රියාත්මකව ඇති අනෙකුත් නීති ඕනෑවටත් වඩා ප්‍රමාණවත් බව අප විසින් නැවත නැවතත් බල කර කියා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔබ වෙත යොමු කරන ලද 2025 දෙසැම්බර් මස 30 වන දින දරණ ලිපිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින අතර, ඔබගේ පහසුව සඳහා එහි පිටපතක් ද  අමුණා එවමු.

Leave A Comment