වී මෝල, අලිමංකඩ සහ හෘද සාක්ෂිය: දේශපාලනයට පෙර ස්වභාවධර්මයේ හඬට සවන් දෙමු
වැරැද්ද අනෙකා කරන විට විරුද්ධ වීමත්, තමන් අතින් සිදු වන විට එය සාධාරණීකරණය කිරීමත් පිරිහුණු අවස්ථාවාදී ප්රතිපත්තියකි. අද වන විට අම්පාර දිස්ත්රික්කයෙන් ඇරඹී ජාත්යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති “අම්පාර අලිකන්ද වී මෝල” යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ ද මෙවැනිම හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවකි.
අම්පාර වැනි කෘෂිකාර්මික ප්රදේශයකට මහා පරිමාණ වී මෝලක ඇති අවශ්යතාවය කිසිවෙකුත් ප්රතික්ෂේප කරන්නේ නැත. නමුත්, ප්රශ්නය වන්නේ “එය ඉදිකිරීමට තෝරාගෙන ඇති භූමියේ පාරිසරික සංවේදීතාවයි.”
මීට පෙර සිදුවූයේ කුමක්ද?
2013 වසරේදී අම්පාර කරංගාව කනත්ත ආසන්නයේ අක්කර 10 ක භූමියක වී ගබඩාවක් සකස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, එවකට සිටි මහජන නියෝජිතයන්, ප්රදේශයේ ගරුතර මහා සංඝරත්නය සහ පරිසරවේදීන් එකමුතුව ඊට දැඩි ලෙස විරුද්ධ විය. හේතුව වූයේ එය අධි සංවේදී අලි මාරුවන කලාපයක් වීමයි. ජනතාවගේ සහ පරිසරයේ හඬට සවන් දෙමින් එදා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය මගින් එම ව්යාපෘතිය අත්හිටුවීමට කටයුතු කළේය.
නමුත් අද සිදුවන්නේ කුමක්ද? එදා අක්කර 10 කට විරුද්ධ වූ පාර්ශවයන්ම, අද ඊටත් වඩා අධි සංවේදී කලාපයක අක්කර 80 ක මහ කැලෑවක් විනාශ කරමින් මහා පරිමාණ වී මෝලක් ඉදිකිරීමට නිහඬව අනුබල දීම හෝ පක්ෂවීම යි. වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සපථ කරන ප්රතිපත්ති අමතක කර දමා මෙසේ කටයුතු කිරීම කනගාටුදායකය.
අලියාගේ වටිනාකම සහ අපේ වගකීම
ආසියානු අලියා යනු හුදෙක් තවත් එක් සතෙකු පමණක් නොවේ. උන් “පරිසර පද්ධතියේ ඉංජිනේරුවන්” (Ecosystem Engineers)” ලෙස හැඳින්වේ.
- අලි ඇතුන් කැලෑව පුරා සැරිසරමින් බීජ ව්යාප්ත කරයි.
- උන් ගමන් කරන මංපෙත් (අලිමංකඩ) මගින් වනාන්තරයේ අනෙකුත් කුඩා සතුන්ට ගමන් කිරීමට මාර්ග සෑදේ.
- වියළි කාලයට ජලය සොයා පොළොව කණින අලි, සමස්ත වනාන්තරයේම සතුන්ගේ පිපාසය නිවීමට උපකාරී වේ.
එවැනි පාරිසරික මෙහෙවරක් කරන අලි ඇතුන්ගේ පාරම්පරික නිවහන සහ සංක්රමණික මංපෙත් (අලිමංකඩ) කපා වෙන්කරමින් කොන්ක්රීට් ගොඩනැගිලි ඉදිකිරීම යනු උන්ට පමණක් නොව, මුළු පරිසර පද්ධතියටම සිදුවන මාරාන්තික පහරකි. වන අලි සහ මිනිසුන් අතර ගැටුම තවත් උග්ර කිරීමට මෙවැනි නොසැලකිලිමත් තීරණ පාර කපයි.
නිවැරදි තීරණයකට එළඹෙමු
පරිසර අමාත්ය ධම්මික පටබැඳිගේ මහතා අම්පාර උහන අලිමංකඩ ප්රදේශයට පැමිණි අවස්ථාවේදී, විවිධ දේශපාලන බලපෑම් සහ මතවාද ඉදිරිපත් වුවද, වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙම ස්ථානය වී මෝලක් සඳහා ලබාදිය නොහැකි බවට දැනටමත් ලිඛිතව දැනුම් දී තිබේ. අමාත්යවරයාද පරිසර අමාත්යාංශයේ නීති පද්ධතිය සහ පාරිසරික යථාර්ථය හොඳින් වටහාගෙන සිටීම අගය කළ යුතුය.
අද වන විට පරිසර යුක්ති කේන්ද්රය ඇතුළු පරිසරවේදීන් මේ වෙනුවෙන් නීතිමය පියවර ගනිමින් සිටින්නේ සොබාදහමේ අයිතිය වෙනුවෙනි.
“අපේ අරමුණ වී මෝලට එරෙහි වීම නොවේ; එය ඉදිකරන වැරදි ස්ථානයට එරෙහි වීමයි.”
කෙටි කාලීන දේශපාලන වාසි හෝ පුද්ගලික පැවැත්ම මුදුන්පත් කර ගැනීමට පෙර, අපේ අනාගත පරම්පරාවට ඉතිරි වන පරිසරය සහ වනසතුන් ගැන සිතිය යුතුය. එබැවින් මෙම වී මෝල අලිමංකඩින් බැහැර, පරිසරයට හානියක් නොවන වෙනත් “නිවැරදි සුදුසු ස්ථානයක” ස්ථාපිත කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කරමු. ඒ සඳහා දිගාමඩුල්ලේ සංවේදී, බුද්ධිමත් සමස්ත පුරවැසියන්ගේ සම්පූර්ණ සහයෝගය හිමිවනු ඇත.


| Palitha Wickramarathne මුහුණ පොතින්

