ශ්රී ලංකා සංචාරක ව්යාපාරය 2026 ලෝක සංචාරක දින ජාතික උත්සවය සමරයි
- Editor
- September 26, 2026
- ව්යාපාරික පුවත්, සංචාරක සහ චාරිකා
- 0 Comments
සංචාරක ක්ෂේත්රය ඩිජිටල්කරණය හරහා නවීකරණය කිරීම තම ඉලක්කය බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පවසයි. අනාගතය ගොඩනැඟීමේදී නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය සහ AI තාක්ෂණය ඉතාම වැදගත් බවයි 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමින් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. උත්සවය අද කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්විණි.
“සංචාරක ව්යාපාරය නැවත හැඩගැස්වීම සඳහා ඩිජිටල් න්යායපත්රය සහ කෘත්රිම බුද්ධිය (AI)” යන තේමාව යටතේ පැවති 2026 ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය, ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සංවිධානය කර තිබිණි. සංචාරක ක්ෂේත්රයේ නව වෙනසක් ඇති කිරීමට, සංචාරකයන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ නව අවස්ථා නිර්මාණය කිරීමට ඩිජිටල් තාක්ෂණය සහ කෘත්රිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහ සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ ඇතුළුව රාජ්ය අංශය, සංචාරක ක්ෂේත්රය, පෞද්ගලික අංශය, විශ්වවිද්යාල සහ තාක්ෂණික ක්ෂේත්ර නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.
“ලෝකය අලුත් වෙනවා, ලෝකය වෙනස් වෙනවා, ඊට සමානුපාතිකව අපිත් වෙනස් වෙන්න ඕනේ. අපේ සංචාරක කර්මාන්තයත් වෙනස් වෙන්න ඕනේ,” යනුවෙන් පැවසූ අමාත්යවරයා, සංචාරක කර්මාන්තය නැවත සැලසුම් කිරීම සඳහා Artificial Intelligence යොදාගැනීමේ අභියෝගයට මුහුණ දීමට සූදානම් විය යුතු බව සඳහන් කළේය.
විවිධ ආර්ථික, දේශපාලන හා පාරිසරික අභියෝග මධ්යයේ වුවද ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි වී ඇති බව අමාත්ය විජිත හේරත් මහතා පැවසීය. දිට්වා සුළි සුළං තත්ත්වය සහ මැදපෙරදිග යුද්ධමය තත්ත්වය හමුවේද සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් කර්මාන්තය ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.
2025 වසරේදී ශ්රී ලංකාව සංචාරකයන් මිලියන 2.3කට අධික පිරිසක් පිළිගෙන ඇති අතර, සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් දක්වා ඉහළ ගොස් ඇත. සංචාරක පැමිණීම් මෙන්ම සංචාරක ආදායමද තවදුරටත් වැඩි කරගැනීම මූලික ඉලක්කයක් බව අමාත්යවරයා පැවසීය.
රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය, සාමකාමී වාතාවරණය, නීතියේ ආධිපත්යය, ආගමික සහජීවනය සහ ජාතික සමගිය සංචාරක කර්මාන්තයේ ඉදිරි වර්ධනයට වැදගත් බවද අමාත්යවරයා අවධාරණය කළේය.
එමෙන්ම සංචාරක කර්මාන්තයේ නියැලෙන පිරිසට මෙම නවීන තාක්ෂණයන් භාවිතා කිරීමේ අවශ්යතාව පිළිබඳ පණිවිඩය රැගෙන යාමේ හා එය ප්රායෝගිකව ක්රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පෙන්වා දුන්නේය.
“සංචාරක ව්යාපාරයේ අනාගතය උදෙසා AI භාවිතයෙන් කෙරෙන නවෝත්පාදන” යන තේමාව යටතේ පැවැත්වූ නවෝත්පාදන තරගාවලිය මෙම උත්සවයේ විශේෂාංගයක් විය. තෘතීයික අධ්යාපන (Tertiary Level) සහ වාණිජ (Commercial Level) යන අංශ දෙක යටතේ පැවැති මෙම තරගාවලිය සඳහා අයදුම්පත් 52 ක් ලැබී තිබුණි. විශේෂඥ විනිසුරු මඬුල්ලක් විසින් සිදුකරන ලද නිරීක්ෂණවලින් අනතුරුව, අයදුම්පත් 25 ක් අවසන් වටය සඳහා තේරී පත් වූ අතර, එහිදී තරගකරුවන් තමන්ගේ AI තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, එක් එක් අංශයෙන් ජයග්රාහකයින් 6 දෙනා බැගින් තෝරා ගන්නා ලදී. එම ජයග්රාහකයින්ට අද දින පැවැති උත්සවයේදී සම්මාන පිරිනැමූ අතර, ඔවුන්ගේ තාක්ෂණික නිර්මාණ ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව හිමි විය.
නවීන තාක්ෂණය භාවිත කිරීමට සංචාරක ක්ෂේත්රයේ පාර්ශවකරුවන් යොමු කිරීමේ වැදගත්කම මෙම ජාතික උත්සවයේදී අවධාරණය කෙරිණි. AI සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සංචාරක කළමනාකරණය ශක්තිමත් කිරීම, උසස් සේවාවක් සැපයීම සහ සංචාරකයින්ට වඩාත් ගුණාත්මක අත්දැකීමක් ලබාදීම ශ්රී ලංකා සංචාරක ව්යාපාරයේ ප්රධාන අරමුණයි. ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි සංචාරක ව්යාපාරයක් ගොඩනැගීම සඳහා රාජ්ය සහ පෞද්ගලික අංශ, විශ්වවිද්යාල මෙන්ම තාක්ෂණික අංශ අතර පවතින එකමුතුව තවදුරටත් තහවුරු කිරීමට මෙම වැඩසටහන උපකාරී විය.
ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යාමේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස 2026 ලෝක සංචාරක දිනය හැඳින්විය හැකිය. මෙවැනි තරගාවලි සහ වැඩසටහන් හරහා නව නිපැයුම්කරුවන් සහ ව්යවසායකයින් දිරිමත් කරමින්, ජාත්යන්තර සංචාරක ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටීමට ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කැපවී සිටියි.

