UNGA81 සැසිවාරයට සමගාමීව අමාත්‍ය විජිත හේරත් විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සහ සාකච්ඡා මාලාවක් පැවැත්වීය.

නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ හමුව

අමාත්‍ය විජිත හේරත් මහතා, UNGA81 හි ඉහළ පෙළේ සතියට සමගාමීව, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු. Shisir Khanal මහතා සමඟ සුහද හමුවක් පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සහ දෙරට අතර වඩාත් සමීප සහයෝගීතාවක් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, පොදු දේශගුණික අභියෝගවලට මුහුණදීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයන් ද ඊට ඇතුළත් විය.

මෑතකදී නේපාලයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් අනතුරුව, නේපාල රජය සහ ජනතාව වෙත සිය සහයෝගීතාව පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා, ඔවුන්ගේ යථා තත්ත්වයට පත්වීමේ සහ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා සිය සුබ පැතුම් ද පළ කළේය.

එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම්වරයා සමඟ හමුව

UNGA81 සැසිවාරයට සමගාමීව, අමාත්‍ය විජිත හේරත් මහතා , එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම් Jean-Pierre Lacroix මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය.

දිගුකාලීනව එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා දායක වන රටක් ලෙස, ගෝලීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගත් ජාත්‍යන්තර සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ කැපවීම සහ සාධනීය සහයෝගය යළි අවධාරණය කළේය.

ජාතික මානව හිමිකම් පරීක්ෂණ යාන්ත්‍රණයේ (NHRSM) ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍ය විජිත හේරත් මහතා Jean-Pierre Lacroix මහතාව දැනුවත් කළේය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ හමුව

UNGA81 හි ඉහළ පෙළේ සතියට සමගාමීව, අමාත්‍ය විජිත හේරත් මහතා , ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය Seyed Abbas Araghchi සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීමත්, සංවාදය සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ගැටලු සාමකාමීව විසඳා ගැනීමත් සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය අමාත්‍ය විජිත හේරත් මහතා යළි අවධාරණය කළේය. කලාපීය ස්ථාවරත්වය හැකි ඉක්මනින් යළි ඇති කර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ හමුව

UNGA81 සැසිවාරයට සමගාමීව, අමාත්‍ය විජිත හේරත් මහතා , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු Sheikh Abdullah bin Zayed Al Nahyan හමුවිය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. වෙළෙඳාම, ආයෝජන, සංචාරක, ශ්‍රම සහයෝගීතාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සුබසාධනය ඇතුළු කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමඟ හමුව

UNGA81 සැසිවාරයට සමගාමීව, අමාත්‍ය විජිත හේරත් මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සමඟ සුහද සහ සාධනීය අදහස් හුවමාරුවක නිරත විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය මෙන්ම සංහිඳියා ප්‍රයත්නයන් පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම්වරයා සමඟ හමුව

UNGA81 සැසිවාරයට සමගාමීව, අමාත්‍ය විජිත හේරත් මහතා, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම් Atul Khare මහතා හමුවිය.

ශ්‍රී ලාංකික සාම සාධක භටයින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් බලය පවරන ලද මෙහෙයුම් සඳහා මෙහෙයුම් සහාය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා  Atul Khare මහතා වෙත සිය ස්තුතිය පළ කළේය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම ද අමාත්‍ය විජිත හේරත් මහතා යළි අවධාරණය කළේය.

Leave A Comment