ස්ථාවර ශ්රී ලංකාව වේගවත් සංචාරක වර්ධනයකට මඟ පාදයි – අමාත්ය විජිත හේරත්
- Editor
- October 6, 2026
- සංචාරක සහ චාරිකා
- 0 Comments
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා ඊයේ (04) සහභාගි විය. බේරුවල Cinnamon Bey හෝටලයේ පැවති මෙම අවස්ථාවට සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේ, පසුගිය කෙටි කාලය තුළ ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් ප්රගතියක් අත්කරගෙන ඇති බවයි. ශ්රී ලංකාව 2024 සිට 2026 දක්වා සංචාරක හා සංචරණ සංවර්ධනයේ වේගවත්ම ප්රගතියක් අත්කරගත් ලොව ප්රමුඛ රටවල් 10 අතරට ශ්රේණිගත වී ඇති බව ලෝක ආර්ථික සංසදයේ (WEF) 2026 සංචාරක හා සංචරණ සංවර්ධන දර්ශකය පෙන්වා දී ඇති බවත් අමාත්යවරයා සඳහන් කළේය. එම ප්රගතියට ප්රධාන හේතුව රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය බවද ඔහු පැවසීය.
2025 වසර ශ්රී ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි වසර බව සඳහන් කළ අමාත්යවරයා, මෙම වසරේදී එම වාර්තාව ද ඉක්මවා යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.
රටේ ආර්ථික වර්ධනය, ඉහළම සංචාරක පැමිණීම්, විදේශ ප්රේෂණ සහ අපනයන ආදායම් වර්ධනය සමඟ ශ්රී ලංකාව ශක්තිමත් ආර්ථික ගමනක නිරතව සිටින බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය. වත්මන් ලෝක දේශපාලන පරිසරය තුළ සියලු රටවල් සමඟ මිත්රශීලී රාජ්යතාන්ත්රික සබඳතා පවත්වාගෙන යන අතර, ස්වෛරීත්වය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා කරමින් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවද සඳහන් කළේය.

