යෝජිත ජල භීතිකා රෝගය තුරන් කිරීමේ පනතින් පොලිස් බලතල ඉවත් කිරීම භයානක තත්තවයකි  – GMOA

ජල භීතිකාව වැළඳී ඇතැයි සැක සිතන,  ජනතාවට තර්ජනයක් වෙමින් සපා කමින් හැසිරෙන සුනඛයන් වුව ද ඉවත් කිරීමට පොලිසියට ඇති බලතල යෝජිත නව පනතින් ඉවත් කිරීම ඉතාම භයානක තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

ජල භීතිකාව නිසා සිදුවන මානව මරණ සංඛ්‍යාව පසුගිය දශක කිහිපය තුළ සීඝ්‍ර ලෙස පහත වැටී ඇත. 1970 දශකයේදී වසරකට 350 ක් පමණ වූ මිනිස් මරණ සංඛ්‍යාව ගිය වසරේ 14 දක්වා අඩු විය. ලංකා ඉතිහාසයේ වාර්තා වූ අඩුම ජල භීතිකා මරණ සංඛ්‍යාව මෙයයි. ජල භීතිකාව වැළැක්වීම සඳහා වන ප්‍රධානතම ක්‍රමෝපාය වන්නේ සුනඛ එන්නත්කරණයයි. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සුනඛ එන්නත් කරන වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 362 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ හොඳින් ස්ථාපිත වූ ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය හරහා ඉතා විධිමත් වැඩසටහනක් ලෙස කරගෙන යනු ලබයි. දැනට  සුනඛ එන්නත් ආවරණය 60%  ආසන්න අගයක පවතී. ඉලක්ක ගත  ආවරණ අගය වන 70% ළඟා වීමට නොබෝ අනාගතයේදීම අපට කළ හැක.

දැනට එන්නත්කරණය සිදුකරනු ලබන්නේ විශේෂයෙන් පුහුණු කරන ලද පශු එන්නත්කරුවන් මාර්ගයෙනි.

මෙම පිරිස  පුහුණු කරනු ලබන්නේ පශු වෛද්‍යවරුන් මගින් වන අතර  නිරතුරුවම ක්ෂේත්‍රයේදි මෙන්ම සේවස්ථ පුහුණු වැඩසටහන් හරහාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු  වෛද්‍ය සේවාවේ සේවයේ නියුතු පශු වෛද්‍යවරුන් හරහා මෙම පසු එන්නත්කරුවන් අඛණ්ඩ  පුහුණුවක් ලබති.

නව පනත අනුව, සුනඛයන් එන්නත් කිරීම කරනු ලැබිය හැක්කේ පශු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ පමණි යන වගන්තියක් ඇතුළත් කර ඇත.  රජයේ පශු වෛද්‍ය සේවයේ නියුතු ඉතා සීමිත පශු වෛද්‍යවරුන් ගණන මෙන්ම, ඔවුන්ගේ ප්‍රධානම රාජකාරිය වන පශු සම්පත් හා ගොවිපළ සතුන්ට අදාළ කාර්යභාරයත් යන කරුණක් සැලකිල්ලට ගැනීමේදී පශු එන්නත්කරුවන්ට සෘජු අධීක්ෂණයක් ලබාදීම හෝ පශූ වෛද්‍යවරුන් විසින්ම එන්නත්කරණය සිදුකිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ.

නව පනතේ ඉහත වගන්තිය ක්‍රියාත්මක වීමේදී දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සාර්ථකව ක්‍රියාත්මක  වන මනා ලෙස ස්ථාපිත වී ඇති සුනඛ එන්නත්කරණ වැඩසටහන මුළුමනින්ම බිඳ වැටෙනු ඇත. 2017 වසරේදී මෙලෙසම සුනඛ එන්නත්කරණ වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට (Department of Animal Production and Health) පැවරූ අවස්ථාවේදී එවකට 60% කට වඩා ඉහළ අගයක තිබූ සුනඛ එන්නත් ආවරණය අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ 6% දක්වා පහත වැටුණි. සිදුවීමට ගිය විශාල අර්බුදය වළක්වමින් වහාම නැවතත් සුනඛ එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරන ලදී.

පසුගිය වසරේදී  ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක සත්ව සංවිධානය එක්ව සිදු කරන ලද ශ්‍රී ලංකාවේ ජල භීතිකා මර්දන  වැඩසටහන  පිළිබඳ පුළුල් අධ්‍යයනයේදී ද, සුනඛ එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කරගෙන යා යුතු බව නිර්දේශ කොට ඇත. අප ඉල්ලා සිටින්නේ  ශ්‍රී ලංකාවේ ජලභීතිකා මර්දන වැඩසටහන සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රමවේදය වළක්වමින් සුනඛ එන්නත්කරණය සිදු කළ හැක්කේ පශු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ පමණි යන වගන්තිය සංශෝධනය කිරීමට සහ එය වෙනුවට කළ යුතුව ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ සaජු දායකත්වයත් ජාතික සුනඛ එන්නත්කරණ වැඩසටහනට ලබා ගැනීමයි.

එමෙන්ම යෝජිත නව පනත යටතේ ජල භීතිකාව වැළඳී ඇතැයි සැක සිතන,  ජනතාවට තර්ජනයක් වෙමින් සපා කමින් හැසිරෙන සුනඛයන් වුව ද ඉවත් කිරීමට පොලිසියට ඇති බලතල ඉවත්කොට ඇත. මෙය ඉතාම භයානක තත්ත්වයකි. එබැවින් එම වගන්තියද සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටිමු.

| 1970 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සුනඛයින් එන්නත් කල සංඛ්‍යාව වාර්ෂිකව
| 1970 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සුනඛයින් එන්නත් කල සංඛ්‍යාව වාර්ෂිකව

 

| ශ්‍රී ලංකාවේ වාර්ථා වී ඇති මානව ජලභීතිකා මරණ සංඛ්‍යාව 2001 වසරේ සිට
| ශ්‍රී ලංකාවේ වාර්ථා වී ඇති මානව ජලභීතිකා මරණ සංඛ්‍යාව 2001 වසරේ සිට

Leave A Comment