සංචාරක ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට තරුණ පරපුර සම්බන්ධ කරගැනීම වැදගත් – අමාත්‍ය විජිත හේරත්

ලෝක සංචාරක දින 2026 සැමරුම් මාලාවට සමගාමීව රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කළ “Ruhunu NextGen Tourism Day” වැඩසටහනේ පස්වන වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (05) දින ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.

මෙවර ලෝක සංචාරක දින තේමාව වන “Digital Agenda and Artificial Intelligence to Redesign Tourism” යටතේ සංචාරක ක්ෂේත්‍රයේ ඩිජිටල් තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

මෙහිදී Ruhunu NextGen Tourism School Tourism Clubs සඳහා නිල වෙබ් අඩවිය දියත් කළ අතර, රුහුණු සංචාරක කාර්යාංශය සහ Dialog Axiata PLC එක්ව “Travel Sri Lanka AI” ක්ෂණික ඇමතුම් සේවාව ද හඳුන්වා දෙන ලදී. 011 778 8288 අංකය ඔස්සේ පැය 24 පුරා භාෂා 12කට වැඩි ප්‍රමාණයකින් සංචාරක තොරතුරු සහ ගමන් සහාය ලබාගැනීමට අවස්ථාව සැලසේ.

දකුණු පළාතේ පාසල් සිසුන් සහ යෞවන සමාජ සාමාජිකයන් සඳහා පැවති විවිධ තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි. හොඳම සංචාරක පාසල සහ හොඳම සංචාරක සමාජය සඳහා ද සම්මාන පිරිනැමිණි.

ප්‍රධාන දේශනය සිදු කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ සංචාරක කර්මාන්තය හුදෙක් ආර්ථික ක්ෂේත්‍රයක් නොව, ශ්‍රී ලංකාවේ ජාතික උරුමය, සංස්කෘතිය, ස්වභාවික පරිසරය සහ ආගන්තුක සත්කාරය ලෝකයට පෙන්වන ක්ෂේත්‍රයක් බවයි.

ලෝකයේ සංචාරක ක්ෂේත්‍රය වේගයෙන් තාක්ෂණය සමඟ ඉදිරියට යන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය සමඟ ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍යවරයා පැවසීය. දකුණු පළාත මෙම ක්‍රියාවලියට දැනටමත් ආරම්භයක් ලබා දී තිබීම අගය කළ ඔහු, එවැනි වැඩසටහන් රට පුරා ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

සංචාරක කර්මාන්තය හෝටල් හා සංචාරක ආයතනවලට පමණක් සීමා නොවන අතර, ගම් මට්ටමේ ජනතාව ද එයට සම්බන්ධ කර ගනිමින් ආදායම් අවස්ථා ඇති කිරීම වැදගත් බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, පාසල් මට්ටමේ සිටම දරුවන් තුළ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුව ඇති කිරීම සඳහා පාසල් සංචාරක සමාජ පිහිටුවීම වැදගත් පියවරක් බව ඔහු සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රය නව තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීකරණය කිරීම සඳහා නව සංචාරක පනතක් සකස් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය සමඟ සංචාරක ක්ෂේත්‍රය ඉදිරියට ගෙන ගියද, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආගන්තුක සත්කාරය තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන ශක්තියක් ලෙස පවත්වාගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා ඇතුළු නිළධාරී පිරිස විසින් උත්කර්ෂවත්ව සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, සංචාරක අමාත්‍යාංශයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර ඇතුළු ජනතා නියෝජිතයින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජෙනරාල් හර්වීන්ද්‍ර සිං මහතා, Dialog Axiata PLC අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරංජිත් වෑවිට මහතා, Clean Sri Lanka පළාත් සම්බනධීකාරක සංජය ධනුෂ්ක මහතා, SLAITO, SLINTGL හා Hotel Associations හි නියෝජිතයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave A Comment