ඉන්ධන අර්බුදය අපට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි – ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය

වර්තමානය වන විට යළි ලෝකය පුරා ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයට ප්‍රබල ලෙස බලපාන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එයට හේතු කිහිපයක් බලපා තිබේ. ඒ අතර සෞදි අරාබිය තාවකාලිකව සිය තෙල් සැපයුම අත්හිටුවීම මෙන්ම, ඉරාන – එක්සත් ජනපද අර්බුදය හේතුවෙන් ඉරානය දිගින් දිගටම හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කරගෙන සිටීම ද වේ.

මේ අතර ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍යවාර මැතිරණයෙන් පසු ට්‍රම්ප් සහ ඉරානය යම්කිසි ආකාරයක එකඟතාවකට පැමිණෙනු ඇති බවයි. ඒ අනුව ඉදිරි නොවැම්බර් මැද භාගය වන තෙක් මෙම අර්බුදය පැවතිය හැකි බවට විශ්වාසය පළ වී තිබේ.

වර්තමානය වන විටත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය කිසිසේත් ශ්‍රී ලංකාව වැනි රටවලට දරා ගත නොහැකිය. විශේෂයෙන් ආර්ථික අර්බුදයකින් බැට කා සිටින රටක් ලෙස ශ්‍රී ලංකාවට මේ මිල ගණන් දරා ගැනීමට නොහැකි තරම් පීඩනයක් එල්ල කර තිබේ. උදාහරණයක් ලෙස (මහාචාර්ය රොහාන් සමරජීවට අනුව) පසුගිය 2025 වර්ෂයේ මුල් මාස හයට ඉන්ධන ආනයනය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1664ක් වැය කිරීමට සිදු වූ අතර 2026 මුල් මාස පහ වෙනුවෙන් පමණක් ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 1703ක්  වී තිබේ.

| සාලිය වික්‍රමසූරිය
| සාලිය වික්‍රමසූරිය
  • වර්තමානයේ ඉන්ධන මිල ගණන් සහ සැපයුම සම්බන්ධයෙන් පවතින අර්බුදය ලංකාවට විශේෂයෙන් කවරාකාරයේ බලපෑමක් කරනු ඇතැයි බලශක්ති විශේෂඥයෙක් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස ඔබට පැහැදිලි කළ හැකි ද?

වර්තමාන ඉන්ධන අර්බුදය ලංකාවට කවරාකාරයෙන් බලපාන්නේ දැයි විශ්ලේෂණය කිරීමට පෙර අපි ප්‍රශ්නය සහ එහි ස්වභාවය තේරුම් ගත යුතුයි. ඒකට හේතුව තමයි ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් කිහිපයක් තිබෙනවා වගේම විකල්පත් කිහිපයක් තිබෙනවා. ලංකාව සම්බන්ධයෙන් ගත් විටත් තත්ත්වය ඒකමයි. ඒ වගේම මේ වෙනුවෙන් කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන විසඳුම් තිබෙනවා. විශේෂයෙන් බාහිරින් මේ තත්ත්වයට විකල්පයක් සොයා ගත යුතුයි කියලා මම හිතනවා.

මෙහි දී මුලින්ම අපේ පිරිපහදු ඒකකය ගැන සොයා බැලිය යුතුයි. අපි දන්නවා බොරතෙල් මිල සහ නිමි ඉන්ධන, ඩීසල් සහ පෙට්‍රල් මිල අතර වෙනසක් තිබෙනවා. ඒ කියන්නේ බොරතෙල්වලට වඩා නිමි ඉන්ධනවල මිල වැඩියි. මේ තත්ත්වය තුළ තමයි අපේ පිරිපහදු ඒකකය වැදගත් වෙන්නේ.

අපේ පිරිපහදුවෙන් සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍ර්ල් නිෂ්පාදනය කරන්න බැහැ. නමුත් ලංකා සුදු ඩීසල්, පෙට්‍ර්ල් 92, ගුවන් යානා ඉන්ධන, දැවි තෙල් සහ භූමිතෙල් අපේ සපුගස්කන්දේ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරනවා. අපේ පිරිපහසුවෙන් ඩීසල් වෙළෙඳපොළෙන් 40%-45%ක් අතර කොටසකට හිමිකම් කියනවා, පෙට්‍රල් 20%- 25%ත් අතර ප්‍රතිශතයක් අපි නිෂ්පාදනය කරනවා. ගුවන් යානා ඉන්ධනවලින් 90%ක් වගේම දැවි තෙල් වලින් 90%ක් පමණ අපේ පිරිපහසුවෙන් ලැබෙනවා.

මෙහි දී බොරතෙල් මිල සහ පිරිපහදුවේ කාර්යක්ෂමතාව වැදගත් සාධකයක් වෙනවා. ඒ නිසා අපේ පිරිපහදුවට අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණය ඇතුළු සේවා සැපයීම කෙරෙහි අපි වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

නමුත් සපුගස්කන්ද පිරිපහදුව අවුරුදු 60ක් පමණ පැරණි එකක්. නමුත් මෙම පිරිපහදුව හදන කාලේ තාක්ෂණය අනුව ගැටලුවක් තිබුණේ නැහැ වගේම එම යුගයේ ඉතාම පහසුවෙන් ඉරානයෙන් බොරතෙල් / Iranian Light ලබා ගැනීමේ පහසුකම තිබුණා.

ඒ වගේම මුළු ලෝකයේම බොරතෙල් එකම ප්‍රමිතියකට නැහැ, ඒ වගේම විවිධාකාරයේ සැපයුම් ජාල හරහා තමයි එහි සැපයුම සිදුවෙන්නේ. නමුත් අපේ පිරිපහදුවට ගැළපෙන්නේ ඉරානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොරතෙල් පමණයි. විශේෂයෙන් අබුඩාබියේ බොරතෙල්.

මුල් කාලයේ අපි භාවිතා කළේ ඉරානයේ බොරතෙල්, නමුත් ඉරාන බොරතෙල් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොරතෙල් / Murban අතර යම්කිසි වෙනසක් තිබෙනවා. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොරතෙල් ඉහළම ප්‍රමිතියකින් යුත් බොරතෙල් වර්ගයකුත් නොමෙයි. ඒ ජාතියේ ඒවා බොහොම පහසුවෙන් සොයා ගන්න පුළුවන්.

නමුත් 2012 වන විට අපිට ඉරාන බොරතෙල් ලබා ගැනීම අත්හිටුවීමට සිදු වුණා. ඒකට හේතු වුණේ එක්සත් ජනපදය ඉරානයට සම්බාධක දැමීමයි. ඒ අනුව එක්සත් ජනපදයේ බලපෑමෙන් අපට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බොරතෙල් ලබා ගැනීමට සිදු වුණා. නමුත් ඒ තීන්දුවෙන් අපට යම් යම් බලපෑම් ඇති වුණා. ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වුණා වෙන්න පුුළුවන්. මුලින්ම අපට ඉරානයෙන් බොරතෙල් ලබා ගැනීම වෙනුවෙන් Murban ලබා ගැනීමට සිදු වුණා. ඒ සමඟ මිල වෙනසකට මුහුණ දීමට සිදු වුණා. 10%-15%ක වැඩි මිලකට තමයි අපට Murban මිලදී ගැනීමට සිදු වුණේ. නමුත් ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරානයේ බොරතෙල් මිල පහළ ගියා. ඒ වගේම ඉරාන බොරතෙල් පිරිපහසුවේ දී අපට අමතර නිෂ්පාදන, වැදගත් අතර නිෂ්පාදන කිහිපයක් ලැබුණා. නමුත් Murban වලින් ඒ වාසිය අපට ලැබුණේ නැහැ. ඩීසල්, පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන, දැවිතෙල් සහ භූමිතෙල් නිෂ්පාදනය 20%ක් පමණ පහළ යාමත් මේ සමඟ සිදු වුණා. ඒ අනුව 2012 දී ඇමෙරිකානු බලපෑම හමුවේ අපි ගත්ත මේ තීන්දුව හේතුවෙන් 10%ක පමණ වැඩි මිලක් සහ පිරිපහදුවේ අමතර නිෂ්පාදවලින් ලබා ගත් නිෂ්පාදනවල 20%ක් පමණ පහළ යාමකට මුහුණ දීමට අපට සිදු වුණා. ඒ අනුව 30%ක පමණ අලාභයක් රටට සහ ජනතාවට දරා ගැනීමට සිදු වුණා. මේක පැහැදිලිවම එක්සත් ජනපදයේ බලපෑමට සහ ඔවුන්ට දක්වන ලද පක්ෂපාතීත්වය හමුවේ සමස්ත රටටම අවාසිදායක, හානිකර තීන්දුවක්. පුදුමයට කරුණ වන්නේ මේ තත්ත්වය ගැන කිසිම තැනක සාකච්ඡා නොවීමයි.

මම මේ තීන්දුවේ හරි හෝ වැරැද්ද ගැන කතා කරන්නේ නැහැ, නමුත් ඉදිරියේ දී සිදුවන සාකච්ඡාවලදී මේ ගැන අවධානය යොමු කරවිය යුතුයි.

ඉන්ධන ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින සීමා හේතුවෙන් වර්තමානය වන විට ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ කටයුතු බරපතළ ලෙස සීමා වෙලා තිබෙනවා. ඒ වගේම අපට කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ වගේම ලංකාවේ ඉන්ධන ගබඩා පහසුකම් සම්බන්ධයෙන් ද බරපතළ ගැටලුවක් තිබෙනවා. ඉන්ධන ගොඩබෑමේ පහසුම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ අභියෝග හේතුවෙන් මේ තත්ත්වය තව දුරටත් සංකීර්ණ වෙලා තිබෙනවා.

අනෙක් කාරණය තමයි අපේම සීමා නිසා ලෝක වෙළෙඳපොළෙන් අපට බොරතෙල් හෝ ඉන්ධන ලබා ගැනීමට සිදුවෙලා තියෙන්නේ සීමිත තොග වශයෙන්. අපේ ඉල්ලුම අඩු නිසා ඉන්ධන ප්‍රවාහන නෞකා කුඩා විය යුතුයි, ඒ නිසාම අපට ලෝක වෙළෙඳපොළ තුළ දී ඉන්ධන සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවෙනවා. මේ තත්ත්වය නිසා අපට  පෙර කාල වලදී කළ ආකාරයට දීර්ඝ කාලීන ගිවිසුම්වලට යන්න හැකියාවක් ද නැහැ. නමුත් මීට පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉන්ධන ආනයනය කිරීමට දීර්ඝ කාලීන ගිවිසුම් අත්සන් කරලා තිබුණා. ඉරානයෙන් බොරතෙල් ගන්න විට අපට ණය පහසුකම් ලැබුණා.

නමුත් අපේ ඉන්ධන ඉල්ලුමේ තිබෙන ගැටලු නිසා ඉන්ධන නිෂ්පාදකයින් සමඟ ගනුදෙනු කිරීම වෙනුවෙන් ඉන්ධන අලෙවිකරුවන්, වෙළෙඳුන් සමඟ කටයුතු කිරීමට සිදුවෙලා තිබෙනවා. නමුත් නිෂ්පාදකයින් සමඟ කටයුතු කිරීමේ දී ලැබෙන වාසි, සහන අපට වෙළෙඳුන් හරහා ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේ ව්‍යාපාරිකයින් කටයුතු කරන්නේ තම ලාභය වෙනුවෙන් පමණයි. අනෙක් අතට අපේ ඉල්ලුම කුඩා ප්‍රමාණයෙන් සිදුවන නිසා ස්වභාවයෙන්ම වැඩි මිලක් ගෙවීමට සිදුවෙනවා.

2022 දී තවත් වැදගත් සිදුවීමක් වුණා. ආර්ථික අර්බුදය සමයේ අපි මුහුණ දුන් ගැටලු නිසා වෙළෙඳපොළ තරඟකාරීත්වය ඉහළ දැමීමට අපි තවත් සමාගම් දෙකට මෙරට වෙළෙඳපොළ තුළ ඉන්ධන බෙදාහැරීමට අවස්ථාව ලබා දුන්නා. නමුත් වෙළෙඳපොළ තරඟකාරීත්වය තුළින් වාසියක් ලබාදීමට අපට නොහැකි වුණා. ඒකට හේතුව තමයි මේ සමාගම්වලින් කළ ආයෝජනයට ආරක්ෂාවක් ලබාදීමට අපට සිදු වුණා. මේ ආකාරයෙන් අපි දීර්ඝ කාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

කෙටි කාලීන පියවර ලෙස අපි තවත් පියවර රැසක් වෙත ගියා, විශේෂයෙන් ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දුන් විදේශ විනියමය ගැටලු හේතුවෙන් අදාළ සමාගම්වලට ඔවුන් සතු ඩොලර්වලින් ඉන්ධන ආනයනය කිරීම දිරිමත් කළා. ඒ වගේම ආදායම් සම්බන්ධයෙන් යම් යම් කොන්දේසි දැම්මා. ලාභය ඉවත් කර ගැනීමට සීමා දැම්මා. අපි මේ පියවරවලට ගියේ අපේ ආරක්ෂාව වෙනුවෙන්.

නමුත් මෙහි දී අපට ආයෝජකයින්ගේ ආරක්ෂාවත් සහතික කිරීමට අවශ්‍ය වුණා. නිසා ඔවුන්ගේ පිරිවැය ගැනත්, අදාළ පිරිවැය පියවා ගැනීම ගැනත් අවධානය යොමු කළා. ඒ අනුව ඔවුන්ට ‘සාධාරණ ලාභයක්’ ද ඇතිව ඉන්ධන මිල නියම කිරීමට පියවර ගන්නා බවට සහතිකයක් ලබා දුන්නා.

නමුත් මේ වන විට ඉන්ධන බෙදාහැරීම කරන පුද්ගලික සමාගම්වල සියලු වගකීම්, අවදානම් භාර ගැනීමට ශ්‍රී ලංකා රජයට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමට හැර අනෙක් සමාගම් දෙකට ඉන්ධන ගබඩා පහසුකම් නැහැ. ඉන්දිය ඔයිල් සමාගමටත් ත්‍රිකුණාමලයේ කුඩා ගබඩා පහසුකමක් තමයි තිබෙන්නේ.

මේ ගැටලු හේතුවෙන් ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ ගබඩාකරණය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති වෙලා තිබෙන අතර එය ‘පිරිවැය ගැටලු’ ලෙස ඉස්මතු වෙලා තිබෙනවා. මේ තත්ත්වය අපට ඍජුව කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නැහැ. බාහිර සාධක මත ගැටලු තවත් සංකීර්ණ සහ දුෂ්කර වෙනවා. මේ අතර ඩීසල් මිල ගණන් වගේම Murban වලත් මිල ඉහළ ගිහින් තිබෙනවා. මේ සියලු සංකීර්ණ හා දුෂ්කර අභියෝගයන්ට මුහුණ දීමට අද අපට සිදුවෙලා තිබෙනවා.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑ සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ දී (ඛණිජ තෙල් සැපයුමේ අර්බුදයක් මතු වුවහොත්, එයට මුහුණ දෙන්නේ කෙසේද? – යන තේමාව යටතේ පැවැති) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා පළ කළ අදහස් ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත ලිපියකි. )

Leave A Comment