අනෝජන් සිවරාසා මහතා නිදහස් කරගැනීමට නිති ප්‍රතිපාදනවලට අනුකූලව සෑම පියවරක්ම ගනිමින් ඉන්නවා – අමාත්‍ය විජිත හේරත් (Video)

දැනට සවුදි අරාබිය රාජධානියේ මරණ දඬුවම නියම කර ඇති ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතුවල සංවේදී ස්වභාවය සැලකිල්ලට ගනිමින්, එම කටයුතුවල ප්‍රගතිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.

අනෝජන් සිවරාසා මහතා සම්බන්ධ නීතිමය කාරණය මේ වන විට සවුදි අරාබි රාජධානියේ අධිකරණ බලධාරීන් හමුවේ විභාග වෙමින් පවතින බවත්, අභියාචනාධිකරණය විසින් 2026 සැප්තැම්බර් 17 වන දින සිය තීන්දුව ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අනෝජන් සිවරාසා මහතා වෙනුවෙන් සවුදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම මත මේ වන විට කටයුතු සිදු කරමින් පවතින අතර, ශ්‍රී ලංකාවේ නීති විශේෂඥ කණ්ඩායමක සහ සවුදි නීති උපදේශකයන්ගේ සහය ඇතිව මෙම අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, අනෝජන් සිවරාසා මහතා දැනට රඳවා සිටින දමාම් බන්ධනාගාරය වෙත තානාපති කාර්යාලයේ නිලධාරීන් අවස්ථා දෙකකදී ගොස් ඇති බවත්, ඔහුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා ඔක්තෝබර් 06 වන දින බන්ධනාගාර ප්‍රධානියා සහ රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු බන්ධනාගාර වෛද්‍යවරයා හමුවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ, සිවරාසා මහතා එම සිරමැදිරියේ සිටි තවත් රැඳවියෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමේදී ඔහුගේ මුහුණට සීරීම් තුවාල සහ නියපොතු සලකුණු සිදුව ඇති බවයි. බන්ධනාගාර වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ කිසිදු තියුණු පිහියක්, උපකරණයක් හෝ ආයුධයක් භාවිත කර නොමැති බවත්, වෛද්‍ය පරීක්ෂණයට අනුව එම තුවාල අනෙක් රැඳවියාගේ නියපොතු හේතුවෙන් සිදුව ඇති බවත්ය.

බන්ධනාගාර නිලධාරීන් විසින් තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත තවදුරටත් දැනුම් දී ඇත්තේ, මේ වන විට සිවරාසා මහතාගේ ජීවිතයට කිසිදු හඳුනාගත් තර්ජනයක් නොමැති බවයි. එමෙන්ම, ඔහුගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවටද එම බලධාරීන් විසින් තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සහතික වී ඇත. මේ වන විට අනෝජන් සිවරාසා මහතා දමාම් බන්ධනාගාරයේම වෙනත් සිරමැදිරියකට මාරු කර ඇති බවද දන්වා ඇත.

සවුදි අරාබි රාජධානියේ බලපැවැත්වෙන නීති ප්‍රතිපාදනවලට අනුකූලව අනෝජන් සිවරාසා මහතා වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගනිමින් ඔහු වෙනුවෙන් සහනයක් අත්කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය

Leave A Comment