තරාතිරම නොබලා ඕනෑම වංචනිකයෙකුට නීතිය ක්‍රියාත්මක වෙනවා- ජනාධිපති

ඉස්සර අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය, මන්ත්‍රී ධුරය, ඇමති ධුරය, ජනාධිපති, ජනාධිපතිගේ නෝනා, ජනාධිපතිගේ පුතා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ. ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නීතිය ක්‍රියාත්මක වුණේ පොල් ගෙඩියක්, කෙසෙල් කැනක් කපපු පොඩි හොරුන්ට විතරයි. නීතිය මකුළු දැලක් වගේ පොඩි කෘමීන් අහුවෙනකොට, ලොකු අය මකුළු දැල කඩාගෙන ගියා. ඒත් අද තරාතිරම නොබලා ඕනෑම වංචනිකයෙකුට නීතිය ක්‍රියාත්මක වෙනවා යයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉබ්බාගමුව ජනරැලිය අමතා ප්‍රකාශ කලේය.

ජනාධිපවරයා විසින් කරන ලද සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

අපේ ආණ්ඩුව හදනකොට රටේ ජනතාව විශාල  බලාපොරොත්තුවක් තැබුවා. පසුගිය වසර දෙක තුළ එම බලාපොරොත්තු ඉතා සුබවාදී ලෙස ඉටු කිරීමට අප සමත් වී තිබෙනවා. ඡන්දයේදී ජනතාව කොටස් දෙකක් හිටියා. එක කොටසක් අපිව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා ඡන්දය දුන්නා. තව කණ්ඩායමක් ‘දීලා බලමු’ කියලා ඡන්දය දුන්නා. දැන් අවුරුදු දෙකක් ගියාට පස්සේ බලන්න ඕනේ, පූර්ණ වශයෙන් විශ්වාස කරපු කරුණුවලට සහ අඩ වශයෙන් විශ්වාස කරපු කරුණුවලට මොකද වෙලා තියෙන්නේ කියලා.

ජනතාව පූර්ණ වශයෙන් විශ්වාස කළා අපි ආවොත් හොරු අල්ලයි, හොරකම නතර කරයි කියලා. අද 100%ක් අපි ඒක ඉටු කරලා තියෙනවා. මම දැක්කා ළඟදී එක ඇමතිවරයෙක් කියනවා හොරු අල්ලන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ කියලා. නෑ, හොරු අල්ලන එකේ සීමාවක් නෑ! තව අපිට මේ වාරයේ අවුරුදු තුනක් තියෙනවා. ඒ තුනේම අල්ලනවා, ඊළඟ වාරෙත් අල්ලනවා.

ඉස්සර අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය, මන්ත්‍රී ධුරය, ඇමති ධුරය, ජනාධිපති, ජනාධිපතිගේ නෝනා, ජනාධිපතිගේ පුතා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ. ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නීතිය ක්‍රියාත්මක වුණේ පොල් ගෙඩියක්, කෙසෙල් කැනක් කපපු පොඩි හොරුන්ට විතරයි. නීතිය මකුළු දැලක් වගේ පොඩි කෘමීන් අහුවෙනකොට, ලොකු අය මකුළු දැල කඩාගෙන ගියා. ඒත් අද තරාතිරම නොබලා ඕනෑම වංචනිකයෙකුට නීතිය ක්‍රියාත්මක වෙනවා.

පාර්ලිමේන්තුවට ගිහින් අවුරුදු පහක් හිටපුවහම විශ්‍රාම වැටුප් හම්බවෙන ක්‍රමයක් තිබුණා. අපි පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා. දේශපාලනය කියන්නේ මහජනයගේ දේපල නාස්ති කරන එකක් නෙවෙයි, මහජන සේවයක්. අපි ඇමතිවරු ගණන උපරිම 25කට සීමා කළා. නියෝජ්‍ය අමාත්‍යවරු ඊට සරිලන ලෙස පත් කළා. රාජ්‍ය අමාත්‍යවරු කියලා ජාතියක් නෑ. අදත් ලංකාවේ පළමු වතාවට අමාත්‍ය ධූර සංඛ්‍යාව 25ට වඩා අඩුවෙන් වසර දෙකක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා.

අමාත්‍ය ධුරය අරගෙන මහජනයාගේ මුදල් නාස්ති කරන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. ඇමතිවරුන්ට කොළඹින් ගෙවල් දෙන එක නතර කරලා, ඒ ගෙවල් වෙන්දේසි කරලා මහජන හිතකාමී ව්‍යාපෘතිවලට ලබාදෙන්න පත්තරවල දැන්වීම් දාලා තියෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට දීලා තිබුණු විශාල ගෙවල්, වාහන, ආරක්ෂාව සහ කාර්ය මණ්ඩල පනතක් මගින් අහෝසි කළා. ජනතාව අපේක්ෂා කළ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කටයුත්තේ විශාල කොටසක් අපි මේ වන විට ඉටු කර තිබෙනවා.

ඒ වගේම අපි නීතිය සියලුදෙනාට සමානව ක්‍රියාත්මක කරයි කියලා මේ රටේ ජනතාව විශ්වාස කළා. ඉස්සර ඇමතිගේ ගෝලයා ගමේ ඉඳන් පස් කපනවා, ගස් කපනවා, වැලි ගොඩදානවා, නීති විරෝධී වැඩ කරනවා. ඇමතිගේ ගෝලයාට නීතියක් තිබුණේ නැහැ. අද නීතිය හමුවේ තරාතිරම නොබලා හැම කෙනාම සමානයි. නීතිය සමාන වුණේ නැත්නම් සමහර ප්‍රවෘත්ති ඕගොල්ලන්ට ජීවිතේටවත් ඇහෙන්නේ නැහැ. ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් අපේක්ෂා කළානම් අද අපි එම රට ගොඩනගා තිබෙනවා.

ඒ වගේම අපි ජාතිවාදට ඉඩ නොතබන බව මේ රටේ ජනතාව විශ්වාස කළා. ජාතිවාදය තිබෙන රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් දියුණු විමට නම් යුද්ධය වෙනුවට සාමය තිබිය යුතුයි. පසුගිය යුද්ධයෙන් අපේ රටේ දකුණේ මෙන්ම උතුරේ තරුණ තරුණියන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. දේශපාලනඥයෝ ජාතිවාදය දේශපාලනයට ගෙනැල්ලා, සිංහල ජනතාව ලවා මුස්ලිම් ජනතාව කෙරෙහිත්, මුස්ලිම් ජනතාව ලවා සිංහල ජනතාව කෙරෙහිත් සැකය ඇති කළා. ඒ අය ජාතිවාදය අවුළුවලා පාර්ලිමේන්තුවට ගිහින් එකතු වෙලා හොරකම් කළා. දැන් අපි ජාතිවාදී දේශපාලනය අවසන් කර තිබෙන්නේ.

අපිට ඕනේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කවුරුත් සමගියෙන් ඉන්න රටක්. පසුගිය අවුරුදු දෙකේ සිංහල ජනතාවගෙන් මුස්ලිම් ජනතාවටවත්, මුස්ලිම් ජනතාවගෙන් සිංහල ජනතාවටවත් අඩන්තේට්ටමක් වුණා කියලා කිසිදු පොලිසියකට එකම පැමිණිල්ලක්වත් ආවේ නැහැ. අපි ජාතිවාදය අවසන් කර තිබෙනවා.

ඒ වගේම විදේශ සබඳතා බිඳ වැටෙයිද කියා සැකයක් තිබුණා. අපි මැදිහත් සහ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දියානු රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. අපි මෝදි අගමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි එවන් ශක්තිමත් සබඳතාවක් ගොඩනඟාගෙන තිබෙනවා. ඉදිරියේදී අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය සඳහා විශාල ආධාර මුදලක් ඉන්දීය රජයෙන් ලැබෙනවා. දිට්වා ව්‍යසනය හමුවේ ඩොලර් මිලියන 100ක ආධාර සහ තාවකාලික පාලම් ලැබුණා. ඉන්දීය අගමැතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාවට පැමිණ අපි සමඟ සාකච්ඡා කළා. ඒ වගේම ජපානයට ගිය අවස්ථාවේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ගොඩනැගීම වෙනුවෙන් විදුලි බස් රථ ලබා දෙන ලෙස අපි ඉල්ලීමක් කළා. දැන් එම බස් රථ ලබා දී තිබෙනවා. ඒ වගේම විදුලි බස් රථ 100ක් ලබා දෙන ලෙස චීනයෙන් සිදු කළ ඉල්ලීමට චීන රජය එකඟතාව පළ කර තිබෙනවා. අද අපි සෑම රටක් සමගම සමබර විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි කා එක්කවත් ගහ ගන්න යන්නේ නැහැ. අපි අපේ ප්‍රමාණය දන්නවා. අපි අපේ විදෙස් ප්‍රතිපත්තිය අනුව කටයුතු කරනවා.

මීට පෙර විදෙස් ප්‍රතිපත්තිය වුණේ ඒක අයෙකුට හම්බන්තොට වරාය දෙනවා. තව කෙනෙකුට තව වරායක් දෙනවා. එදා විදෙස් ප්‍රතිපත්ති තිබුණේ නැහැ, ඩීල් තිබුණේ. අද ලංකාව කෙළින් හිටගෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට සමත්වන ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එය ලෝකයේම ගෞරවයට සහ විශ්වාසයට පාත්‍ර වී තිබෙනවා.

එදා තමිල්නාඩුවේ යාචකයින් මුදල් එකතු කළා ලංකාවට එවන්න. ලෝකයේ ණය අරගෙන කඩාවැටුණු රටක් පිළිබඳ උදාහරණයක් තිබෙනවා නම් ඒ ශ්‍රී ලංකාව කියලා ලෝකයේ රටවල කථා කළා. වංචාවේ, දූෂණයේ යෙදිලා ආර්ථිකය කඩා වට්ටපු නිසා මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙනවා කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කථා කළා. එක රටක අග්‍රාමාත්‍යවරියක් ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවට වූ ඉරණම ඒ රටට වෙන්න දෙන්නේ නැහැ කියලා. අපි බිඳවැටුණු රටක් සහ ලෝකයේ නරක දේ පිළිබද පූර්වාදර්ශයට ගත් රටක් බවට පත් වුණා.

මේ වන විට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දර්ශකයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ගොඩනැගෙමින් තිබෙන රටක් ලෙස අපි ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ වගේම ලෝකයේ සාමය පිළිබඳ දර්ශකයේ අපි ඉදිරියට පැමිණ තිබෙනවා. ආර්ථික සංවර්ධනය පිළිබඳ දර්ශකයේ අපි ඉදිරියට පැමිණ තිබෙනවා.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඇතිව රටක ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවට ලෝකයේ ප්‍රධානතම උදාහරණය බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. අද අපේ රට හොඳ දේට පුර්වාදර්ශය වී තිබෙනවා. අද මේ රට හොඳම සංචාරක ගමනාන්තයක් සහිත රට බවට පත්ව තිබෙනවා. විදෙස් ප්‍රතිපත්ති පිළිබද යම් සැකයක් තිබෙනවා නම් ආණ්ඩුවට වසර දෙක ගත වන විට අපි එය අවසන් කර තිබෙනවා.

ඒ වගේම ආගම් ගැන සැකයක් තිබුණා. අපි බලයට පැමිණ පෙරහැර නතර කරයි කියලා කිව්වා. එහෙම වෙන්නේ නැහැ. අපි අපේ රටේ බෞද්ධාගම ප්‍රමුඛ සියලු ආගම් ආරක්ෂා කර පෝෂණය කිරීමට පූර්ණ අනුග්‍රහය ලබා දෙන ආණ්ඩුවක්. සසුනට ඇතුළත්වන දරුවන්ගේ දෙමාපියන්ට ගෙවල් 1000ක් සාදා දීමට මේ අවුරුද්දේ මුදල් වෙන් කළා. ලබන වසරේදීත් අවශ්‍ය මුදල් වෙන් කරනවා. පිරිවෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහ හිමිවරුන්ගේ දෛනික දීමනාව එළඹෙන අයවැයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම දිට්වා ව්‍යසනයෙන් හානි වු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීමට අවශ්‍ය මුදල් ලබා දුන්නා. මේ අවුරුද්ද අග වන විට ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ අද අපේ රටේ සියලු ආගම්වලට ගෞරවාන්විත ලෙස තම කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනඟාදීම සහ අනුග්‍රහය ආණ්ඩුව විසින් ලබා දෙනවා. ඒ පිළිබඳ සැකයක් තිබුණා නම් එම සැකය අවසන් වී තිබෙනවා.

අපේ රටේ ශක්තිමත් දේශීය ව්‍යවසායක පන්තියක් ගොඩනැගීමට අපි ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කර සහාය ලබා දෙනවා.

ඒ වගේම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාලා යයි. රට තුළ ආර්ථික අර්බුදයක් ඇති වෙයි කියලා. එහෙම වුණේ නැහැ. අපි  ප්‍රධාන ගැටලු දෙකකට මුහුණ දුන්නා. මේ රටේ විශාලම ආර්ථික විනාශය සිදු කළ දිට්වා සුළි කුණාටුවට අපි මුහුණ දුන්නා. එමගින් ආර්ථිකයට විශාල බලපැමක් එල්ල නොවන ලෙස අපි ආර්ථිකය ශක්තිමත් කර තිබුණා. ඒනිසා අපිට එය කළමනාකරණය කර ගැනීමට හැකි වුණා.  ඒ වගේම මැදපෙරදිග යුද්ධය නිසා ඇති වූ තත්ත්වයට අපිට මුහුණ දීමට සිදු වුණා.

මැදපෙරදිග යුද්ධය නිසා ලෝක වෙළඳපොලේ ඩීසල් බැරලයක මිල ඩොලර් 88 සිට 170 දක්වා ඉහළ ගියත්, අපි සහනාධාර දීලා දේශීය මිල පාලනය කළා. ඒ කියන්නේ ලෝක වෙළෙඳපොළෙහි ඩිසල් බැලරයක මිල 91%කින් ඉහළ ගිහින් තිබෙනවා. ඉන්ධන මිල යුද්ධය පටන් ගන්න කළින් 281යි, අද 392යි. ඉහළ ගියේ 39%කින්. ලෝක වෙළෙඳපොළේ ඩීසල් 90%කින් ඉහළ යන විට දේශීය වෙළෙඳ පොළේ ඉහළ ගියේ 39%කින්. අපි ඩීසල්වලට සහනාධාරයක් ලබා දුන්නා. අප්‍රේල් මාසයේ සිට විකුණන සැම ඩිසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100 ගානේ දුන්නා. ඒ සඳහා කෝටි 6000ක් වෙන් කළා.

ඒ වගේම ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මේ මාස තුන සඳහා විකුණන සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 70ක සහනාධාරයක් ලබා දෙනවා. ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල වැඩි වුණාට අපි සහනාධාරයක් ලබා දෙමින් ජනතාවට සහන සලසා තිබෙනවා.

ඒ වගේම ලෝක වෙළෙඳපොළේ ප්‍රෙටල් 80%කින් ඉහළ ගියා. හැබැයි දේශීය වෙළෙඳ පොළේ ඉහළ ගියේ 41%කින්. අද අපි උත්සාහ කරන්නේ තෙල් සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කිරිමට. එදා දේශපාලන හිතවතුන් පුරවලා තෙල් සංස්ථාව විනාශ කරලා තිබුණා. අපි බලයට පැමිණ ගත වූ වසර දෙකටම තෙල් සංස්ථාවට බඳවාගෙන තිබෙන්නේ දහ දෙනයි. එයින් හතර දෙනකේ අලුතින් හදන ව්‍යාපෘති වෙනුවෙන් ඉංජිනේරුවන් ලෙස බඳවා ගෙන තිබෙනවා. අනිත් හය දෙනා කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් යාන ඉන්ධන ව්‍යාපෘතිය සඳහා බඳවාගෙන තිබෙනවා. අද අපි මේ ආයතන ශක්තිමත් කර තිබෙනවා.

අද තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. හැබැයි පුද්ගලික සමාගම් කියනවා ඒ ගානට දෙන්න බැහැ කියලා. වෙනදා ආණ්ඩුවේ එක ගණන්. පුද්ගලික ඒවා ලාභයි. අද ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ ලාභයි. පුද්ගලික අයට ඒ ගානට දෙන්න බැහැ. එක සමාගමක් ඉල්ලුවා රුපියල් 132කින් ඩීසල් වැඩි කරන්න කියලා. තව සමාගමක් කිව්වා 116කින් වැඩි කරන්න කියලා. අපි වැඩි කළේ නැහැ. අපි තෙල් සංස්ථාව මගින් රුපියල් 70 සහනාධාරය සමග රුපියල් 10කින් පමණක් ඩීසල් වැඩි කර අපි ජනතාවට බරක් නොදී බලා ගන්නවා කියලා. අද පෞද්ලික සමාගම්වල ඉන්ධන පිරවුම්හල්වල තෙල් හිඟයක් තිබෙනවා. ඒ අය කියනවා වැඩි කළේ නැත්නම් විකුණන්නේ නැහැ කියලා. ඒ සඳහා අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැහැ ඇති කරගෙන තිබෙන ගිවිසුම් නිසා හිරවුණු තැන් තිබෙනවා. මේ පැරණි ගිවිසුම් අපි සංශෝධනය කරනවා. ඩීසල් වෙළෙඳපොළේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ 58%යි. අද ඩීසල් වෙළෙඳපොළේ පංගුව 77%යි. ඉතිරි 23% කරන්නත් කට්ටියට බැරිනම් ඒකත් අපිම කරන්නම්. අපි ඔවුන්ට කියලා තියනවා අවශ්‍ය නම් ඔබ ඔබේ ගාණට විකුණන්න අපි අපේ ගාණට විකුණන්නම් කියලා. මේවට වෙන උත්තර නැහැ.

අපිට මෙහෙම සහනාධාර ලබා දීමට හැකි වී තිබෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කර තිබූ නිසයි. එසේ නොවුණා නම් මැද පෙරදිග යුද්ධයේදී තෙල් මිල වගේම විදුලි බිලත් ඉහළ යනවා. අපි එය පාලනය කර තිබෙනවා. හැබැයි තෙල් මිල සහ විදුලි බිල යම් ප්‍රමාණයකට ඉහළ යාම හේතුකොටගෙන අත්‍යාවශ්‍ය භාණ්ඩවලට යම් බලපෑමක් සිදුව තිබෙනවා.

ඒ නිසා එළඹෙන අයවැය ලේඛනයෙන් තෝරාගත් භාණ්ඩ කිහිපයක බදු ඉවත් කිරීම පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. අපි ජනතාවට සහන ලබා දිය යුතුයි. ඒ වගේම පොත් පත් සඳහා අය කරන බදු ඉවත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.  මේ විදියට ජනතාවට සහන සලසමින් ඔවුන් බලා ගැනීමේ වගකීම අපි ඉටු කරනවා.

හැබැයි මේ තෙල් මිල යම් ප්‍රමාණයකට පහළ යන තෙක් ආර්ථික පීඩනය තිබේවි. එය අපේ කළමනාකරණයේ ගැටලුවක් නෙවෙයි, ලෝකයේ යුද්ධයක් පටන් ගෙන තිබෙනවා. තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේම උද්ධමනයට සහ භාණ්ඩ මිල ඉහළ යාමට මෙය බලපා තිබෙනවා. අපි එය අවම වශයෙන් කළමනාකරණය කර ගැනීමට සමත් වී තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ කැළඹිලිවලට පිළිතුරු දීමට අපි සමත් වී තිබෙනවා.

ඒ වගේම අපි භාණ්ඩාගාරයේ ධනය ඉතා හොඳින් රැස්කර තිබෙනවා. “වැව් අමුණු හදන්න මිලියන 35,000ක් සහ ගම්වල පාරවල් හදන්න මිලියන 24,000ක් වෙන් කළා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය නොගෙන භාණ්ඩාගාරයේ මුදලින් අධිවේගී මාර්ග 3ක් රඹුක්කන-ගලගෙදර, කුරුණෑගල-දඹුල්ල, කහතුඩුව-ඉංගිරිය ඉදිකිරීම ආරම්භ කරනවා.

අපි රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා හොඳ වැටුපක් ලබා දිය යුතුයි. ගුරුවරුන්ගේ වැටුප් රු. 38,000 සිට රු. 65,000 දක්වාත්, නව වෛද්‍යවරුන්ගේ වැටුප් රු. 94,000 දක්වාත් වැඩි කර ඇති අතර, විභාග පවත්වා රාජ්‍ය සේවයට අලුතින් එක්ලක්ෂ විසි එක්දහසක් බඳවා ගන්නවා. 2027 වන විට සෑම පාසලකම අවම වශයෙන් එක පන්ති කාමරයක හෝ Smart Board එකක් සවි කරනවා.

බෝ නොවන රෝග පාලනයට ‘ආරෝග්‍යා’ සෞඛ්‍ය මධ්‍යස්ථාන 2000ක් පිහිටුවන අතර, රජයේ රෝහල්වල හෘද සැත්කම් පොරොත්තු කාලය මාසයකට අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

අරේගුව, දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක ඉක්මවා භාණ්ඩාගාරයට මුදල් එකතු කර තිබෙනවා. හදිසි ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සඳහා ලබන වසරේදී සෑම දිසාපතිවරයෙකුටම රුපියල් කෝටි 200 බැගින් ලබා දෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඩොලර් බිලියන 9කට ආසන්න මුදලක් ලැබී ඇති අතර, ලබන වසරේ ප්‍රධාන බර තබන්නේ රටට ඩොලර් ඉපැයීමටයි.

මේ ආණ්ඩුව හදලා තියෙන්නේ පවුල් බලයෙන්, මුදල් බලයෙන් හෝ මැර බලයෙන් නෙවෙයි; මහජනතාවගේ බලයෙන්. ඒ නිසා මේ ආණ්ඩුව සැමවිටම තීන්දු ගන්නේ පොදු ජනතාවගේ යහපත උදෙසායි. අපි හැමදෙනාම මේ වෙනුවෙන් එකතු වෙමු! ස්තූතියි, හැමදෙනාටම ජය වේවා!

Leave A Comment