ජාතික නාමල් උයන මුල් කරගනිමින් ශ්රී ලංකා – දකුණු කොරියා මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ
ජාතික නාමල් උයන ඓතිහාසික පරිසර පද්ධතිය කේන්ද්ර කරගනිමින් දකුණු කොරියාවේ ස්වේච්ඡා සංවිධාන සහ විවිධ ආයතනවල සහයෝගීතාවයෙන් වැඩසටහන් රාශියක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
පාසල් දරුවන්ගේ අධ්යාපනික තත්ත්වය සහ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා වන විශේෂ මානුෂීය වැඩසටහන් ද මීට ඇතුළත් වේ. මෙම ව්යාපෘති හරහා ශ්රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින ද්විපාර්ශ්වික මිත්රත්වය, සංස්කෘතික සබඳතා මෙන්ම තාක්ෂණික හුවමාරුව ද තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, දැනට ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන දකුණු කොරියානු නියෝජිත පිරිස අද දින විදේශ කටයුතු අමාත්යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යවරයා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
මෙහිදී දෙරට අතර පවතින සුහදතාව සහ සහයෝගීතාව දෙපාර්ශ්වයේම ඇගයීමට ලක් වූ අතර, ඉදිරි පරිසර සංරක්ෂණ ක්රියාවලීන් සහ මානුෂීය වැඩසටහන් සම්බන්ධයෙන් ද වැදගත් එකඟතාවලට එළැඹිණි.
පූජ්ය වනවාසී රාහුල හිමියන්ගේ නායකත්වයෙන් වසර 35කට අධික කාලයක් පුරා සුරක්ෂිත කර පෝෂණය කරන ලද ජාතික නාමල් උයන, මෙලෙස ජාත්යන්තර සහයෝගීතාව දිනාගැනීම මෙරට පරිසර සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකේ.

