නාකොළගනේ අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කාලයක් තිස්සේ වනාන්තරව පැවති ඉඩම් අක්කර 1,500කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් ආර්ථික බෝග වගාවන්, ඛනිජ කැණීම් සහ පස් කැපීම වැනි කාර්යයන් සඳහා යොදා ගනු ලැබ තිබිණි.

එහිදී සිදු කරනු ලැබ ඇති කැලෑ එළිකිරීම් හේතුවෙන් පාරිසරික හානි සිදු වී ඇති බවත්, වයඹ පළාතේ අලි‑මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවත් දක්වමින් එම ක්‍රියාවන් අත්හිටුවන ලෙස ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස එළිකරනු ලැබ ඇති හෙක්ටයාර 55ක ඉඩම් ප්‍රමාණය ඇතුළත්ව අවශේෂ කැලෑ කොටස් ඇතුළත් සම්පූර්ණ ප්‍රදේශය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ අභයභූමියක් ලෙස හෝ අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස හෝ ප්‍රකාශයට පත් කළ යුතු බවට නියෝග කර තිබේ.

එකී නියෝගයට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඒකාබද්ධ සමීක්ෂණයක් මඟින් හෙක්ටයාර 682ක ඉඩම් ප්‍රමාණයක් වනජීවී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හඳුනා ගෙන ඇත. ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාව ඇතිව ඒ ආසන්නයේ පිහිටි පාලුකඩවල වැවෙහි උපරිම ජල සීමාව ද ඇතුළත් කරමින්, එකී හෙක්ටයාර 682ක භූමි ප්‍රදේශය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන පරිදි නාකොළගනේ අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave A Comment