රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකට කැබිනට් අනුමැතිය

1968 වර්ෂයේදී පිහිටුවන ලද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් පෙළපොත්, රජයේ නිල ප්‍රකාශන සහ රාජ්‍ය ආයතනවල ලේඛන මුද්‍රණය කිරීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වශයෙන් කටයුතු කරනු ලබයි.

මෑත වසරවලදී අඛණ්ඩව මූල්‍ය ලාභ වාර්තා කර ඇතත්, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සතුව පවතින යන්ත්‍රෝපකරණ දිරාපත් වීම සහ මුද්‍රණ තාක්ෂණය යල් පැන ගොස් තිබීම හේතුවෙන් එහි නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ පිරිවැය තරගකාරිත්වය සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.

ඒ අනුව, සංස්ථාවේ ස්ථාවරත්වය දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාර ආකෘතිය හා තාක්ෂණික හැකියාවන් ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීන තාක්ෂණයෙන් මෙහෙයවන උසස් ආරක්ෂක මුද්‍රණ ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා ‘Smart Print Initiative’ නමින් උපායමාර්ගික විවිධාංගීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව රාමුවක් යට‌තේ යෝජිත විවිධාංගීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave A Comment