අලි මිනිස් හිතවත්කම් ගැටුමට පෙරලීම – නිර්මලා දිසානායක

ශ්‍රී ලාංකීය ජනයා හා අලි අතර පවතිනන්නේ  ඓතිහාසික සබඳතාවයකි. විශේෂයෙන්ම අලියා යනු ශ්‍රී ලාංකික ජනයාගේ ගෞරව බහුමානයටත් වන්දනාවටත් පාත්‍ර වන සත්ත්ව කොට්ඨාශයකි. ආගමික, සංස්කෘතික, දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් පවා මේ සබඳතාවය  සුවිශේෂී වුවකි. විශේෂයෙන් ම ආගමික වශයෙන් වැදගත් වන පෙරහැරවලදි අලි ඇතුන්ට හිමිවන්නේ මුලීකම තැන ය. කරඬුව වැඩම වීම සුවිශේෂිම කාරණයයි. මේ සමීප සබැඳියාව අතීතයේ පටන් ම අලි ඇතුන් හා ජනයා අතර පැවතුණි. 

එවන් අන්තර් බැඳීමකින් යුතු අලි හා මිනිස්සුන් අතර වූ සබඳතාවය අද වන විට ඓතිහාසික කතාවෙන් වෙනත් පිටුවකට පෙරළී හමාර ය. එනම් දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම් නිසාවෙනි. මෙම ගැටුමට සෘජුවම මුහුණ පානු ලබන්නේ ලංකාවේ බොහෝමයක් ග්‍රාමීය ජනයා ය.

මෙම අලි මිනිස් ගැටුම නූතන ලංකාවේ දිනෙන් දින තීව්‍ර වන කාරණයක් වන නමුත් එයට හේතු සාධක ගොඩනැගුණේ මෑතකදී පමණක් නොවෙයි. වන ගහණය අතින් පොහොසත් රටක් වූ මෙරට එදා අලින්ගේ වාසභූමින්ට හා ආහාරවලට ප්‍රශ්නයක් වුයේ නැත. නමුත් කෙමෙන් රටේ දියුණු සංවර්ධන ක්‍රියාදාමයන්  ආරම්භ වීමත් සමඟ වන අලින්ගේ වාසභූමි පමණක් නොව ආහාර හා බීමට ජලය පවා අහිමි වූ තත්ත්වයක් උදා විය. එවන් තත්ත්වයක් උදාවීම තුළ වන අලින් ගම් වැඳීමට පටන් ගත් අතර එතැන් පටන්  අලි – මිනිස් ගැටුම් ආරම්භ විය.

දහනව වැනි සියවසේ මේ රට තේ වැනි වාණිජ භෝග වගාවන් ආරම්භ කිරීමට පෙර උඩරට කඳුකර කලාපවල වනාන්තර බහුල වූ නිසා වන අලින් බහුලව ගැවසූණ හ.  නමුත් මේ වගාවන්ට වනාන්තර එළිවීමත් සමඟ අලින්ගේ වාසභූමි අහිමිවීමේ ඛේදවාචකය නිසා ඔවුන්ට වාසභූමි ආහාර හා ජලය සොයා යාමට සිදුවිය. මේ අයුරින් සංවර්ධන ක්‍රියාදාමයන් පුළුල් වීමත්, ජනාවාස බිහිවීමත්, ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන්ම හේන් ගොවිතැන් උදෙසා කැලෑ එළි කිරීමත් කරණ කොට ගෙන මෙම ඛේදවාචකය දිනෙන් දින උග්‍ර වන්නට විය. මේ අයුරින් බලන කල්හි මිනිසා විසින්ම මේ ගැටුම් වලට බීජය වපුරා ඇති බව මනාවට ගම්‍ය ය.

වාර්ෂික අලි මරණ

අද වන විට මේ ගැටුම උග්‍ර වීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2020 – 2024 දක්වා කාලය තුළ සෑම වසරකම, මිනිස් මරණ 100 ඉක්මවා ඇත.  වන අලි  ජීවිත 300 ඉක්මවා ඇත. එමෙන්ම වන අලි ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගල සංඛ්‍යාව 200 ඉක්මවා ඇත.(තොරතුරු 2025-02-21 පාර්ලිමේන්තු පළමු සභා වාර‌යේදි ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විමසා සිටි ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා දුන් ගරු පරිසර අමාත්‍යවරයාගේ පිළිතුරු හි මෙම දත්ත අන්තර්ගත විය)

ඊට අමතරව ශාරීරික, දේපල හා වගා  හානි ද  විශාල වශයෙන් සිදුවන බැව් වාර්තා ගණනාවකින් තහවුරු කර ඇත. මෙවන් තත්ත්වයක් තුළ ලංකාවේ වන අලි ග්‍රහණය අවම වීම ලෝක අවධානයට පවා ලක් වූ කාරණයක් වී තිබේ. මිනිසා විසින් අලි ඝාතනය කිරීම් හා විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලින් මරණයට පත්වීම හේතු කොටගෙන ලංකාවේ අලින්ගේ  අවම වීමක් දක්නට ඇත. 2011 වර්ෂයේ වන අලි සංගණනයට අනුව දිවයින පුරා විසිරි සිටින වන අලි සංඛ්‍යාව 5879 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදි. ඒ් එසේ වුවද 2022 වර්ෂයේ වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙරට වන අලි ග්‍රහණය 7000දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඉන් අනතුරුව 2024 වර්ෂයේ අගෝස්තු මාසයේදී ද වන අලි සංගණනයක් සිදු කෙරුණි. තවද 2025 වර්ෂයේ අලි මරණ සංඛ්‍යාව 409ක් දක්වා ඉහළ ගොස් ඇති බව වනජීවී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. 2024 වර්ෂයේ වන අලි මරණ 388ක් වාර්තා වු අතර 2025 වර්ෂයේදි එය 409ක් ලෙස වර්ධනය වී ඇත. මේ මරණ පිටුපස ඇති හේතුන් ලෙස දක්වා සිටින්නේ, වෙඩි තැබීම්, විදුලි සැර වැදීම්, නීති විරෝධි හකු බෝම්බ (හක්කපටස්), දුම්රිය අනතුරු, වෙනත් සාධක ලෙස විෂවීම් සහ ස්වභාවික සාධක පෙන්වා දෙයි.

මෙම තත්ත්වය දරුණු ය. ඒ් අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම අලි මරණ අනුපාතයක් ඇති රටවල් අතරට එක්ව ඇත. එසේ ම මෙම තත්ත්වය සංචාරක ආකර්ෂණයට ද විශේෂයෙන්ම ඓතිහාසිකව ආගමික වශයෙන්  බැඳී පවතින පෙරහැර සම්ප්‍රදායට මෙන්ම ලංකාවේ ජාතික උරුමයක් වන වන අලි සම්පතේ පරිහානියට ද ප්‍රබල බලපෑම් කාරකයක් වී තිබේ.

අනෙක් අතට වන අලි ප්‍රහාරවලින් අහිංසක මිනිස් ජීවිත බිලිවීම හේතුවෙන් දරු පවුල් අසරණවීම, මහපොළොව සමඟ පොර බදා දුක් මහන්සියෙන් වගා කර ගත් වගා බිම් එක රැයකින් විනාශ කිරීමෙන් අහිංසක ගොවීන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටීම, වන අලි ප්‍රහාර නිසා ශාරීරිකව පීඩා විඳින අහිංසක ජීවිත පමණක් නොව ඉන්න හිටින්නට තිබෙන ගේ දොර පවා අහිමිවීමෙන් දුක් විදින අසරණ ජීවිත  දෙස එබී බැලීමෙන් සැබැවින්ම ඒවා අතිශය සංවේදී කඳුළු කතාවෝ ය. එවන් දුක් අඳෝනාවෝ  අපට මේ මිහිතලයෙන් උදාවන දවසක් පාසා අසන්නට දකින්නට ලැබීම සාමාන්‍ය කාරණයක් බවට පත්වී ඇත.

හානිය පාලනය කරගැනීම

මෙම ගැටලුවට අවශ්‍ය වන්නේ ස්ථීරසාර විසඳුමකි. වන අලින්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට ගැමියන් විවිධ ක්‍රම උපායන් අනුගමනය කරති.  වගා බිම සීමාව තුළ විඳුලි වැඩ සවි කිරීම්, පැල් රැකීම්, ගිනි මැල දැල්වීම,  රතිඤ්ඤා හා අලි වෙඩි දැමීම මේවා සාමාන්‍ය සිදු කරන ක්‍රමෝපායන් ය.  මීට අමතරව රජය විසින් වන සංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තුව ඒ්කාබද්ධව ගම් ප්‍රදේශවලට වන අලින්ට පිවිසිය නොහැකි පරිදි විදුලි වැට සවිකිරීම, ගොවීන්ට රතිඤ්ඤා ලබාදීම, වන අලි රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීම මෙහිදී විශේෂයෙන්ම හොරොව්පොතාන  හා ලුණුගම්වෙහෙර අලි රැඳවූම්  මධ්‍යස්ථාන පිහිටුවා ජන ජීවිතවලට හානිකරන  වන අලින් ඒවාට මුදාහැරීම සිදුකිරීම වැනි ක්‍රමවේදයන් ද ඒ්  අතර වෙති. තව ද වන අලි ප්‍රහාරයකින් සිදුවන මරණයකට වගා හානි සඳහා වන්දි ගෙවීමක්ද සිදු කෙරේ.

නමුදු මේ ක්‍රමවේද වඩා ස්ථීරසාර විසඳුම් නොවන බැව් නම් කිව යුතුම ය. උදාහරණයක් ලෙස දක්වතොත් අලි රඳවුම් මධ්‍යස්ථාන හදා ඒවාට  ගෙනත් දමන අලි ඒ ප්‍රදේශයේ  ගම්වලට කඩා පැන  කරන්නේත්  ඒ ගම්මුන්ට හානි කිරීමමයි. එසේ වූ ප්‍රචණ්ඩකාරි වන අලි හානි මැඩලීමට අලි රැඳවුමට ගෙනත්  දැමු අලි මේ කාලය තුළ මිනිස් ජීවිත සෑහෙන ප්‍රමාණයක් විනාශ කර ඇත. වගා පාළු විශාල වශයෙන් සිදු කර ඇත. පළාතකට හානිකරන අලින්ගෙන් වන හානිය අවම කිරීමට ඒ් අලි වෙනත් පලාතකට මුදා හැරීම ඉහේ ඇම්මට කොට්ටේ මාරු කිරීමක් වැනිය. එබැවින් සිදුවිය යුත්තේ  ස්ථිරවම මේ ප්‍රශ්නයට විසඳුමක් මිස අලි රකින්න මිනිසුන් විනාශ වන හෝ මිනිසුන් රකින්න අලින් විනාශ වන ක්‍රමවේදයක් නොවේ. නොනවතින මේ ගැටුමට විසඳුම් සෙවිය යුතු වන්නේ මානව සම්පත ද වන අලි සම්පත ද දෙපිරිසම රැකෙන පරිදි මිස හානියක් වූ පසු වන්දියක් ගෙවීමෙන් පමණක් අවසන් කිරීමෙන් නොවේ.

විසඳුම්

ජෛව වැටවල් ලෙස තල්, දොඩම්, දෙහි, පතොක් වැනි ශාක යොදාගෙන දිගුකාලීන විසදුමක් ලෙස වැටවල් නිර්මාණය වැනි ක්‍රමෝපායන්ට ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව යොමුවෙමින් ඇත. එසේම මේ වෙනුවෙන් නුතන දියුණු තාක්ෂණය අපුරුවට භාවිත කිරීමට ද හැකිය. ඒ් සඳහා දක්ෂතා ඇති පිරිසගෙන් අදහස් හා නව නිර්මාණ අපේක්ෂා කරමින් වැඩසටහන් නිර්මාණය කර ඒ් තුළින් මතු වන නව යෝජනා ක්‍රියාත්මක කල හැකි ය.

වන ගහණය සුරක්ෂිත කිරීම ද මේ සඳහා විසදුමක් ලෙස සැළකිය හැකිය. මන්ද යත් උන්ගේ කෑලෑ මිනිස්සු විසින් එළි කරද්දි උන්ට අහිමි වන්නේ උන්ගේ වාසස්ථානයයි. මෙරටට ස්වභාව ධර්මයාගෙන් දායාද වී  තිබුණු වන ප්‍රමාණය දැන් මෙරටට අහිමි වී හමාරය.  එය නැවත මවන්නට නොහැක නමුත් වවන්නට හැකිය. ඒ නිසා වන විනාශය අවම වන ආකාරයේ  පියවර හා ජනාවාස වලින් දුරස්ථ කලාප සම්පූර්ණ වනාන්තරවලට අතහැර ඒවා මෙවැනි සද්ධන්තයින්ගේ වාසභූමි ලෙස ජලය හා  ආහාර වලින් යුක්ත පාරිසරික කලාප බවට පත්කොට ඒ තුළ මේ ජාතික සම්පත  ජීවත් කරවීම මැනවයි සඳහන් කළ යුතු ය. එය මිනිසාටත් වන අලියාටත් හිතකර වනු ඇත.

| නිර්මලා දිසානායක
| නිර්මලා දිසානායක

 

Leave A Comment