ආපදාවෙන් පසු අධ්‍යාපන පද්ධතිය වඩා හොඳින් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව වර්ෂාපතන අධික වීම, ජලගැලීම්, නායයාම්, සුළි කුණාටු, ගිනිගැනීම් වැනි ආපදා තත්ත්වයන්ට නිතර මුහුණ දෙන රටකි. විශේෂයෙන්ම පසුගිය මාසය කිහිපය තුළඋතුරුමැද,මධ්‍යම , සබරගමුව සහ වයඹ පලාත්වල දැඩි ජලගැලීම් සහ නායයාම් වාර්තා විය. මේවා අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් 9 තුන විවිධ අධ්6කලාප රැසක් පවතින අතර පාසල් විශාල සංඛ්‍යාවක් පවතින අතර භෞතික සම්පත්, පරිපාලන ව්‍යුහය සහ උපකාරක සේවා මත පදනම්ව අධ්‍යාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ. එහෙත් ආපදා තත්ත්වයන් හේතුවෙන් පාසල් ගොඩනැගිලි, පන්තිකාමර, පුස්තකාල, පරිගණකාගාර, විද්‍යාගාර සහ ජල-සනීපාරක්ෂක පහසුකම් වැනි භෞතික සම්පත් විශාල ලෙස හානි වී ඇත.

  1. භෞතික සම්පත් පමණක් නොව මානව සම්පත පිළිබඳ අවධානය

ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත්වල සිදුවූ ජලගැලීම් සහ නායයාම් හේතුවෙන් පාසල් ගොඩනැගිලි, පන්තිකාමර, ගුරු නිවාස, පරිගණක උපකරණ හා පුස්තකාල පොත්පත් විනාශ වී ඇත. බොහෝ අවස්ථාවල පාසල් තාවකාලිකව අවතැන් වූ ජනතාව සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන ලෙස භාවිතා කර ඇත.

එහෙත් ගොඩනැගිලි නැවත සකස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ආපදාවකින් පසු දරුවන්ගේ මානසික තත්ත්වය, සමාජීය පසුබිම සහ අධ්‍යාපනික හැකියාවන් පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය.

ආපදා හේතුවෙන් දරුවන්ට සිදුවන ප්‍රධාන බලපෑම්:

  • පවුලේ සාමාජිකයන් අහිමි වීම
  • ආර්ථික ආදායම් මාර්ග අහිමි වීම
  • අවතැන් වීම හා පාසල් මාරුව
  • නිවාස නොමැතිවීම හෝ අස්ථාවර වාසස්ථ
  • දිගුකාලීන ආතතිය, භීතිය සහ අසුරිත බව

මෙවැනි තත්ත්වයක සිටින දරුවෙකුට සාමාන්‍ය පන්තිකාමරයකදී අවධානය යොමු කිරීම දුෂ්කර විය හැකිය.

එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු එක්ව “දරුවන් පිළිබඳ ආපදා බලපෑම් දත්ත පද්ධතියක්” ස්ථාපිත කළ යුතුය.

  • එම දත්ත පද්ධතිය මඟින්:
  • දරුවාට සිදුවූ භෞතික හා මානසික හානිය
  • පවුලේ ආර්ථික හා සමාජීය තත්ත්වය
  • විභාග අපේක්ෂක දරුවන්ගේ විශේෂ අවශ්‍යතා
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට (Children with disabilities) ඇති අභියෝග

යන කරුණු වෙන් වෙන්ව ලියා තබා, ඒ අනුව ක්‍රියාමාර්ග සැලසුම් කළ හැකිය.

  1. මානසික සහ සමාජීය සහන වැඩසටහන්

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයන්හිදී බොහෝ රාජ්‍ය නොවන සංවිධාන, ආගමික ආයතන සහ ස්වේච්ඡා කණ්ඩායම් දරුවන්ට සහන ලබා දෙන නමුත්, එය බොහෝවිට කාලීන සහ සීමිත වේ.

ආපදා පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දිගුකාලීන සැලැස්මක් යටතේ සිදු විය යුතුය.  ඒ සඳහා:

  • සෑම අධ්‍යාපන කලාපයකම පාසල් උපදේශක සේවය ශක්තිමත් කිරීම
  • ගුරුභවතුන්ට Psychological First Aid සහ Trauma-informed teaching පිළිබඳ පුහුණු ලබා දීම
  • කලා, සංගීත, නර්තන සහ ක්‍රීඩා මඟින් මනෝසමාජීය ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන් (parent awareness sessions) සංවිධානය කිරීම.

විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා:

  • අමතර ඉගැන්වීම් වැඩසටහන්
  • ප්‍රදේශමය පෙරහුරු විභාග
  • ආතති කළමනාකරණ වැඩමුළු

අවශ්‍ය නම් කාලසටහන් වෙනස් කිරීම් හෝ සහන වැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ.

  1. ආපදා පෙර සූදානම – පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාව ආපදා අවදානම් රටක් බැවින්, පාසල් මට්ටමින් Disaster Risk Reduction (DRR) ක්‍රමවේදයන් සම්මත කිරීම අත්‍යවශ්‍ය ඒ සඳහා:

  • ජලගැලීම් සහ නායයාම් අවදානම් සිතියම් (risk maps) පාසල් මට්ටමින් සකස් කිරීම
  • ගිනි නිවීමේ උපකරණ නිසි පරිදි පවත්වා ගැනීම
  • වසරකට අවම වශයෙන් පෙරහුරු 2–3ක් පැවැත්වීම
  • ශිෂ්‍ය නායක මණ්ඩලයට සහ ගුරුවරුන්ට විශේෂ වගකීම් පැවරීම
  • ආරක්ෂිත පිටවීමේ මාර්ග සලකුණු කිරීම

මෙවැනි ක්‍රියාමාර්ග මඟින් දරුවන්ට අවදානම් අවස්ථාවලදී නිසි ප්‍රතිචාර දැක්වීමට හැකි වේ.

  1. ගම් මට්ටමින් අධ්‍යාපන නියාමන ක්‍රමවේදයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගම් මට්ටමින් කෘෂිකාර්මික නිලධාරීන් මඟින් ගොවියන්ට සේවා සපයන ආකාරයටම, අධ්‍යාපන අංශය තුළද ගම් මට්ටමේ නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කළ හැකිය.

පාසල්වල අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ට:

  • අමතර අධ්‍යාපන, ළමා ආරක්ෂණ සහ උපදේශන පුහුණු ලබා දී
  • ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට අනුයුක්ත කර

දරුවන්ගේ:

  • පාසල් පැමිණීමේ නියමිතභාවය
  • පාසල් අත්හැර යාමේ අවදානම
  • ටියුෂන් සහ අමතර පන්ති සහභාගී වීම
  • නිවසේ පරිසරය හා ආර්ථික තත්ත්වය
  • දෙමාපිය සම්බන්ධතාවය

හැසිරීම් හා මානසික ගැටලු වැනි කරුණු නිරීක්ෂණය කළ හැකිය.මෙය නව නිලධාරීන් බඳවා ගැනීමෙන් තොරව, දැනට පවතින රාජ්‍ය සේවා නිලධාරීන් පුහුණු කිරීම මඟින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘතියකි. ඒ මඟින්:

  • පාසල් අත්හැර යාම (school dropout) අවම කළ හැකිය
  • ආපදා පසු අධ්‍යාපන පසුබැසීම පාලනය කළ හැකිය
  • දරුවන් ආරක්ෂිත පරිසරයක සිටින්නේද යන්න නිරීක්ෂණය කළ හැකිය
  • දෙමාපියන්ට සහ පාසලට අතර සම්බන්ධතාවය ශක්තිමත් කළ හැකිය

ශ්‍රී ලංකා පසුබිම තුළ ආපදාවෙන් පසු අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම යනු ගොඩනැගිලි නැවත ඉදිකිරීම පමණක් නොව, දරුවන්ගේ මානසික සුවය, සමාජීය ආරක්ෂාව සහ ගම් මට්ටමේ සම්බන්ධතාව ශක්තිමත් කිරීම ඇතුළත් සම්පූර්ණ ක්‍රියාවලියකි.

භෞතික සම්පත්, මානව සම්පත් සහ ප්‍රතිපත්තිමය සැලසුම් එකට ගෙන යාමෙන් පමණක්, ආපදා පසු වඩා ශක්තිමත් හා ආරක්ෂිත අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගිය හැකිය.

  1. නව තාක්ෂණය සහ දුරස්ථ අධ්‍යාපනය

COVID-19 සමයේ අත්දැකීම් අනුව, දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද (online learning) ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පැහැදිලිය. ආපදා තත්ත්වයන්හිදී

  • Online පන්ති
  • TV/Radio අධ්‍යාපන වැඩසටහන්
  • Digital අධ්‍යාපන සම්පත්

වඩා සංවිධානාත්මකව සකස් කළ යුතුය.විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල internet පහසුකම් සහ උපාංග හිඟය සලකා බලමින් සමාජ මට්ටමින් Digital Learning Centers පිහිටුවිය හැකිය.

ආපදාවෙන් පසු අධ්‍යාපන පද්ධතිය නැවත ගොඩනැගීම යනු ගොඩනැගිලි නැවත ඉදිකිරීම පමණක් නොවේ. එය මානව සම්පත, මානසික සුවය, සමාජීය සහයෝගය සහ පද්ධතිමය ප්‍රතිසංස්කරණ සමඟ යා යුතු පුළුල් ක්‍රියාවලියකි

ශ්‍රී ලංකාවේ සියලු පලාත්වල ආපදා පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලසුම්ගතව, දත්ත පදනම් කරගත් සහ ගම් මට්ටමට ව්‍යාප්ත වූ ආකාරයෙන් සිදු කළහොත්, අනාගතයේදී දරුවන්ට ආරක්ෂිත හා ස්ථාවර අධ්‍යාපන පරිසරයක් සකස් කළ හැකිය. අවසානයේ, “ආරක්ෂිත පාසලක්” යනු ගොඩනැගිල්ලක් පමණක් නොව, ආරක්ෂිත මනසක්, සහයෝගී සමාජයක් සහ සූදානම් පද්ධතියක් යන්න අප අමතක නොකළ යුතුය.

සටහන – නෙත්මා ප්‍රියමාලි

Leave A Comment