කාසල්වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක්

වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට ද අනුගතව රෝහලේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

කාසල්වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී පැවැත්විණි.

වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට ද අනුගතව රෝහලේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීමට කටයුතු කරන බව එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වසර 75 ක ගමන් මගක් සනිටුහන් කරමින් කාන්තා සහ මාතෘ සෞඛ්‍ය  සේවාවේ මුදුන් මල්කඩක් ලෙස රෝහල ලබාගත් ජයග්‍රහණ රැසක් වන බවද  කාසල් වීදියේ කාන්තා රෝහල මාතෘ සහ නව ජන්ම සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ කැපවීම සහ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස ඉදිරියෙන්ම පවතින බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙහිදී 75 වන සංවත්සරයට සමගාමීව වූ විශේෂ වෛද්‍ය ප්‍රදර්ශණය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර, එම වෛද්‍ය ප්‍රදර්ශණය අද සහ හෙට පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා නොමිලේ පැවැත්වේ. දරු උපතේ කලාව, කැමරා ඇසින් කෙරෙන ශල්‍ය කර්ම, නලදරු උපත් ක්‍රියාවලිය සහ වෛද්‍ය දැනුම ප්‍රගුණ කර ගැනීමට තවත් බොහෝ දේ මෙම වෛද්‍ය ප්‍රදර්ශණයට අන්තර්ගත කර තිබුණි.

රෝහලට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් පැවැති විශේෂ සැමරුම් උත්සව අවස්ථාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ 1947 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භව  1950 වර්ෂයේ  නිදහස් ලංකාවේ ආරම්භ කළ නව මාතෘ රෝහලක් ලෙස  කාසල්වීදියේ කාන්තා රෝහල පෙන්වා දිය හැකි බවයි.

රෝහල පිළිබඳව අතීතය සිහිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එදා සිට අද දක්වා රෝහලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සියලු පිරිස් ද මෙහිදී සිහිපත් කරන ලදී.

Leave A Comment