චීනයේ ප්‍රතිලාභ අපගේ ජනතාවට ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් – අමාත්‍ය විජිත හේරත්

ගෝලීය ආර්ථිකයේ මීලඟ අදියරට චීනය ඔසවා තබන 2026 – 2030 පස් අවුරුදු සැලැස්ම තුළ අපගේ ජනතාවට පැහැදිලි ප්‍රතිලාභයක් ලබාදීමේ පදනම මත චීනය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා 20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශ කරන ලදි.

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ පසුගියදා ‘චීනයේ නව සංවර්ධනය – ලෝකයට නව අවස්ථාවක්‘ යන තේමාවෙන් 20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ ප්‍රතිඵල විග්‍රහ කරමින් , එහි ප්‍රධාන දේශනය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සිදු කළ අතර පක්ෂ රැසක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් තම දේශණය සිදුකරමින් ප්‍රකාශ කලේ, 20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ ප්‍රතිඵල පිළිබඳ මෙම විග්‍රහය සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි. “චීනයේ නව සංවර්ධනය: ලෝකයට නව අවස්ථාවක්” යන තේමාවෙන් යුතු මෙය අප සැමට කාලීන සහ ඉතා වැදගත් අවස්ථාවක්.

පසුගිය දශක කිහිපය තුළ චීනය අත්කරගත් සංවර්ධනය මුළු ලෝකයටම බලපා ඇත. දරිද්‍රතාවය අඩු කිරීම, තාක්‍ෂණය දියුණු කිරීම සහ ශක්තිමත් කර්මාන්ත ගොඩනැගීම යන අංශවල චීනයේ ප්‍රගතිය දිගුකාලීන සැලසුම්කරණයේ සහ ස්ථාවර ප්‍රතිපත්තියේ අවශ්‍යතාව පෙන්නුම් කරයි. මෙම පූර්ණ සැසිවාරයේ දී තීරණ කරගෙන තිබෙන නව මඟ පෙන්වීම් ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට සහ අනාගතය සඳහා සූදානම් වීමට චීනය දරන උත්සාහය පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාව ගත් කළ, මෙකී තීරණ හොඳින් අවබෝධ කර ගැනීම අතිශය වැදගත් වේ. අපගේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ අපගේ ජනතාවට සාධාරණ අවස්ථා නිර්මාණය කර දීමට, අපගේ සෑම හවුල්කාරිත්වයක්ම ප්‍රායෝගිකව සලකා බලමු. අපගේ ඉලක්කය සරලයි: අපගේ පුරවැසියන්ට සැබෑ ප්‍රතිලාභ ගෙන දෙන සහ තිරසාර, දිගුකාලීන වර්ධනයට සහාය වන සහයෝගීතා පමණයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතියි. මෙම සම්බන්ධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ දී, අපගේ ප්‍රමුඛතා වන්නේ අපගේ කර්මාන්තවලට සහාය වීම, රැකියා නිර්මාණය කිරීම, කුසලතා වර්ධනය කිරීම වන අතර බැඳීම් හෝ බාධාවලින් තොරව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහි සහතික වීමයි.

මෙම වසර අවසානයේ චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම සම්පූර්ණ වේ. COVID-19 වසංගතය ඇතුළු ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය ආදී දුෂ්කරතා මධ්‍යයේ වුවද, චීනය 2021 සිට 2024 දක්වා 5.5% ක සාමාන්‍ය ස්ථාවර වර්ධනයක් පවත්වා ගැනීමට සමත් වූයේ ය. මෙම වසර අවසානයේ දී, සැලසුම් කාලය තුළ චීනයේ මුළු ආර්ථික වර්ධනය යුවාන් ට්‍රිලියන 35 ඉක්මවයි. එය ගෝලීය වර්ධනයට සෑම වසරකම 30% කට පමණ දායක වී ඇත.

චීනය දැවැන්ත ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි විවෘතභාවය පුළුල් කිරීම, කෘත්‍රීම බුද්ධිය, ක්වොන්ටම් තාක්‍ෂණය, අධිවේගී දුම්රිය සහ අභ්‍යවකාශ ගවේෂණය වැනි ක්ෂේත්‍රවල නවෝත්පාදනයන් සඳහා ප්‍රමුඛතාව දී ඇත. විශේෂයෙන් හරිත සංවර්ධනය කෙරෙහි චීනයේ දැඩි අවධානය ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම් සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.

චීනයේ එළඹෙන 15 වන පස් අවුරුදු සැලැස්ම (2026–2030) චීනයේ මීලඟ අදියර සඳහා වන මාවත දක්වයි. චීනයේ ස්ථාවරත්වය, උසස් තත්ත්වයේ සංවර්ධනය, දියුණු නිෂ්පාදන, නවීන යටිතල පහසුකම්, ඩිජිටල් තාක්ෂණය සහ හරිත බලශක්තිය කෙරෙහි එය අවධානය යොමු කරයි. ප්‍රතිසංස්කරණ පියවර 300 කට අධික සංඛ්‍යාවක් සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු මුලපිරීම් ද එහි ඇතුළත් වේ.

චීනයේ මෙම ප්‍රමුඛතා ශ්‍රී ලංකාව වැනි රටවලට විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය, තාක්ෂණ සහයෝගීතාව, කාර්මික දියුණුව සහ ග්‍රාමීය සංවර්ධනය යන ක්ෂේත්‍රව සඳහා නව අවස්ථා ලබා දෙයි.

අපි ජීවත් වන්නේ ගෝලීය අවිනිශ්චිත කාලයකයි. එවැනි පරිසරයක, සමබර හා ගෞරවනීය හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍යයි. සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අපගේ ජනතාවට පැහැදිලි ප්‍රතිලාභයක් ලබා දීමේ පදනම මත චීනය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍යවරයා තම දේශනය අවසන් කරමින් ප්‍රකාශ කරන ලදි.

Leave A Comment