බුදුදහම ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය ගොඩනැගීම විශාල හේතුවක් – චීන තානාපති Qi Zhenhong

ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාව තව තවත් ශක්තිමත් කිරීමට බුදුදහම විශාල හේතුවක් බවත් මෙම මිත්‍රත්වය ගොඩ නැගීම වෙනුවෙන්  දෙරටේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විශාල කැපකිරීමක් සිදුකර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong මහතා පවසයි.

පාහියන් හිමි ඇතුළු මහා සංඝරත්නයේ කැපවීම නිසා ශ්‍රී ලංකාව හා චීනය අතර ගැඹුරු ශක්තිමත් බැඳීමක් ඇතිකර ගැනීමට හැකිවී ඇතැයිද ඒ මහතා කීය.

අකුරණ දීගල මානාගල මහා විහාරස්ථානයේ ශ්‍රී ලංකා-චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමත් ශ්‍රී ශාඛ්‍යසිංහ ගෞතම සම්බුද්ධ සමාධි ප්‍රතිමා වහන්සේ සහ මෛත්‍රී බෝසත් පිළිමවහන්සේ ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් නිමිත්තෙන් පැවැති උත්සවයේදී චීන තානාපතිවරයා මේ බව පැවසුවේය. මානාගල විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පරණගම ඤාණවිමල නාහිමියන්ගේ ආරාධනයෙන් චීන තානාපති Qi Zhenhong මහතා ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය විවෘත කරනු ලැබීය.

අනතුරුව මීටර් 88 ක උසකින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමාවේ සහ මීටර් 18 කින් යුත් බෝසත් පිළිරුවේ ඉදි කිරීම ආරම්භ කිරීම චීන තානාපතිවරයාගේ මූලිකත්වයෙන් සිදුවිය.

එහිදී උත්සව සභාව ඇමැතූ චීන තානාපති Qi Zhenhong මහතා මානාගල විහාරස්ථානයේ ඉදිවූ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා-චීන බෞද්ධ සම්බන්ධතාව පෙන්නුම් කෙරෙන වටිනා සංඛේතයක් යැයිද පැවසුවේය.

මෙහිදී අනුශාසනාවක් කළ අස්ගිරි පාර්ශවයේ අනුනායක, ඓතිහාසික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ මෙසේ පැවසූහ. චීනය එදා සිට අපේ මිත්‍රයෙකු ලෙස කටයුතු කළා. ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන රටක් ලෙස ජත්‍යන්තරයෙන් චෝදනා එල්ල වනවිට චීනය අපිත් එක්ක හිට ගත්තා. වත්මන් රජය යටතේ චීනය සමඟ පවතින සම්බන්ධතා තවත් වර්ධනය වෙමින් තිබෙනවා. එදා දහමෙන් සැනසුන අපි අද මතින් වැනසෙනවා. එදා බෝසත් සමාජයක් කරා ගමන් ගත් අප අද උත්සහ කරන්නේ පෝසත් සමාජයක් වෙත ඇතුළු වීමටයි. එදා ජීවිතය සමත් වෙන්න බුදු දහම ඉගෙන ගත් අපි අද බුදු දහම ඉගෙන ගන්නේ විභාග සමත්වීමට පමණයි.

 

මානාගල විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පරණගම ඤාණවිමල නාහිමියන් අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.මෙය මේ රටේ සියලුම මානව වර්ගයා වෙනුවෙන් යහපත වෙනුවෙන් සේවාවක් කළ හැකි ආකාරයේ ආයතනයක් නිර්මාණය කිරීම තමයි අපගේ අරමුණ වුණේ. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානය සේ සැලකෙන ශ්‍රී ලංකාවත් මහායාන බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානය සේ සැලකෙන චීනයත් අතර පවතින සම්බන්ධතාව ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් වඩාත් තිව්‍ර වෙනවා. වසර තුනකදී මෛත්‍රී බෝසත් පිළිරුවේ ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙම අවස්ථාවට අත්තනගලු රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුවඇටගම ඥානානන්ද යන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රිනාස් ෆාරුක්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීන් සපුතන්ත්‍රි,මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, මහනුවර බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර, මහාචාර්ය ෆන්ග්යාඕ, භාතිය වීරකෝන් යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.මානාගල විහාරස්ථානය ගොඩනැගීම සඳහා භූමිය පූජා කළ සැදැහැවතුන් අගයා ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීම  මෙහිදී අචාර්ය පරණගම ඤාණවිමල නාහිමියින්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

| අසේල කුරුළුවංශ
| අසේල කුරුළුවංශ

(ඡායාරූපය-රුවන් මීගම්මන )

Leave A Comment