
වෛද්‍යවරුන් ස්ථානගත කිරීම අසාර්ථක වීමෙන් වෛද්‍යවරුන් රටට අහිමිවීමේ තර්ජනයක් – GMOA
- Sujeewa Senerath
- October 22, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රටට අහිමි වීම සහ වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම හේතුවෙන් රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව, ගැටළු සහ අඩුපාඩු ගණනාවක් මධ්‍යයේ වුවද ඉහළ ගුණාත්මකභාවයෙන් සහ සමානාත්මතාවයෙන් යුතුව රට පුරා සැපයීමෙහිලා තීරණාත්මකම කාර්යභාරය ඉටු කරනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.
පසුගිය සමයේ රට තුල පැවති අර්බුදකාරී වාතාවරණය හමුවේ වැඩිම බලපෑමට ලක් වූ ක්ෂේත්‍රය වනුයේද සෞඛ්‍ය සේවාවයි.
එයට ප්‍රධානතම හේතුව වන්නේ, පැවති ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය හමුවේ, ඉතිහාසයේ නොවු විරු ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය පද්ධතියට අහිමි වීමයි.
2022 වර්ෂයෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරන් 2500 කට අධික පිරිසක් රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සහ ශ්‍රී ලංකාව අතහැර ගොස් ඇති අතර, තවත් 5000 කට අධික පිරිසක් විදෙස් ගතවීමේ සූදානමින් පසුවෙති.
රට තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය යම් තරමකට සමනය වී බංකොලොත්භාවයෙන් මිදුනද, වෛද්‍යවරුන් මෙරට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා තිරසාර වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට වගකිවයුත්තන් අසමත් වීම තුළ, වෛද්‍යවරුන්ගේ බුද්ධිගලනය තවමත් පාලනය වී නැත.
වෛද්‍ය හිඟය හේතුවෙන් පර්යන්ත සෞඛ්‍ය පද්ධතියේ ප්‍රධාන රෝහල් සහ කුඩා රෝහල් ගණනාවක් බිඳ වැටීමේ අවදානමට මුහුණ දී සිටියි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රධාන රෝහල්වල සාමාන්‍ය රෝගී සත්කාර සේවාවන් පවා පවත්වා ගැනීමද ගැටලුවක් බවට පත් වී ඇත.
එමෙන්ම රෝහල්වල සමස්ත සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීම ද, දැඩි අභියෝගයක් බවට පත්ව ඇත.
මේ හේතුවෙන් රෝහල් පද්ධතිය තුළට පැමිණෙන අහිංසක රෝගී ජනතාවට, අවශ්‍ය සම්පූර්ණ රෝගී සත්කාර සේවාවන් ලබාදීමට සෞඛ්‍ය පද්ධතියට දැඩි අරගලයක නිරත වීමට සිදු වී ඇත.
ඒ තුළ අවදානමට ලක් වී ඇත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියයි.
වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් වැටුපක් නොමැතිවීම හේතුවෙන් ඇතිවී ඇති ආර්ථික අස්ථායිතාවය, වෛද්‍ය හිඟය, රෝහල්වල මූලික පහසුකම් නොමැතිවීම, නිල නිවාස පහසුකම් අවම වීම, ආරක්ෂාව පිළිබඳ ගැටලු, පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා අවම වීම, ඖෂධ සහ උපකරණ හිඟය වැනි වෛද්‍යවරුන් විදේශගත වීමට හේතුවන කරුණු නිවැරදිව හඳුනා ගනිමින්, කාලයක් තිස්සේ පවතින එම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වීම තුළ, ඉතා නුදුරු දිනකදීම මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුවී ඇත.
එපමණක් නොව, රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන් සේවා අවශ්‍යතාවය අනුව නිසි ලෙස ස්ථානගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වීම තුළ, රෝහල් පද්ධතියේ අර්බුදය තවත් උත්සන්න වී ඇත.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් 10000 අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක නොවීම තුළ, වෛද්‍යවරුන්ගේ හිඟය තවත් උග්‍ර වී ඇති අතර, එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සඳහා සේවා අවශ්‍යතාවයන් හඳුනා ගනිමින්, ප්‍රමුඛතා අනුපිළිවෙල මත නීත්‍යාලකුල සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම කැපී පෙනෙන ගැටලුවක් බවට පත්ව ඇත.
මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දිවයිනේ විවිධ රෝහල් වල තෝරාගත් පුද්ගලයින් කිහිපදෙනෙක් පමණක් ඉලක්ක කරගනිමින් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග ලබාදෙමින් සිටී.
මෙම නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිදුකරන ක්‍රියාවලිය සිදුකරන්නේ එතුමන්ගේ වුවමනාවටද, එසේත් නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිටින වෙනත් කණ්ඩායමක බලපෑමට හෝ අවශ්‍යතාවයකට අනුව ද කියා දැඩි ගැටලුවක් මේ වන විට මතුවී තිබේ.
සෞඛ්‍ය පද්ධතිය තුල මානව සම්පත රැක ගැනීම මෙන්ම එම මානව සම්පත නිසි පරිදි ස්ථාපිත කිරීම සඳහා විද්‍යාත්මක සහ පිළිගත් වැඩපිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අසමත් වීම හේතුවෙන් බිඳ වැටෙන නිදහස් සෞඛ්‍ය සේවාවට පණ පෙවීම උදෙසා කෙටි කාලීන හා මධ්‍ය කාලීන පියවර සහිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම වත්මන් රජයේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතු බව අපගේ හැඟිමයි. එසේ නොවන්නේ නම් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් රටට අහිමි වන ජිවිත පිළිබඳ වගකීම එම සියලු වගකිව යුතු පාර්ශව භාර ගත යුතුය.
ජන ජිවිත සහ සෞඛ්‍ය සේවකයින් රැක ගැනීමේ අරමුණින් නිදහස් සෞඛ්‍ය සේවාවට පණ පෙවීම උදෙසා සියලු පාර්ශව එකතු කරගනිමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැප වී සිටින බව අවධාරණය කරමු.